නිදුක් බලන කට්ටිය

2011/08/26

සච්චක දමනය


මං අද කියන්නේ පහුගිය ලිපි වලින් කිව්වාට වඩා ටිකක් විතර වෙනස් කතාවක්. ඒ කියන්නේ මේක අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙ සිද්ධ වුනා යැයි කියන කතාවක්.

මේක තමයි ඔය චුල්ල සච්චක සූත්‍රයේ නිධාන කතාව. ඔන්න අපේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියලු විශාලා මහනුවර මහ කැලේ තිබුණු කූටාගාර ශලාවේ. ඒ නුවර සච්චක කියලා නිගන්ඨයෙක් හිටියලු.

මේ සච්චක බොහොම උගත් බුද්ධිමත් කෙනෙක්. වාද කිරීමට විශාල හැකියාවක් මේ සච්චකට තිබුණ හින්දා බොහෝ දෙනා මෙයාට බොහොම ගෞරව කළා. සච්චකත් ඉතිං තමන් ගැන ටිකක් ඕනවට වඩා ආඩම්බරයකින් හිටියේ. මාත් එක්ක වාද කරලා කාටවත් දිනන්න බෑ, නිකංම ඔවුන් ලැජ්ජාවට පත්වෙනවා කියලා තමයි සච්චක හිතාගෙන හිටියේ.
ඔන්න දවසක් සච්චකට හමු වුණා අස්සජි හාමුදුරුවන්ව. හාමුදුරුවොත් එක්ක කතාවට වැටුණු සච්චක අහනවලු, අස්සජි හාමුදුරුවනේ, ඔය බුදු හාමුදුරුවෝ මොන වගේ අනුශාසනාවකින්ද එතුමා ගේ ශිෂ්‍යයින් හික්මවන්නේ? කියලා.
එතකොට අස්සජි හාමුදුරුවෝ කියනවා, “රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ හැම ධර්මයක්ම අනිත්‍ය බවත්, ආත්ම නොවන බවත් දුක බවත් උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට අනුශාසනා කරනවා” කියලා. මේක අහලා සච්චක කියනවා, හොඳයි මං එන්නං බුදු හාමුදුරුවොත් එක්ක මේ ගැන තර්ක කරලා එතුමාව පරද්දන්න කියලා.

ඔන්න ඉතිං සච්චක යනවා බුදු හාමුදුරුවො මුණ ගැහිලා මේ ගැන වාද කරන්න. එයා එතෙන්ට යනකොට වේදේහ රටේ ලිච්ඡවී ලත් ඇවිල්ලා ඉන්නවා බුදු හාමුදුරුවෝ බැහැ දකින්න. දැං සච්චක හිතුවා මෙයාලටත් පෙන්නන්න ඕන මගේ වාද කිරීමේ දක්ෂතාවය කියලා. එයාලටත් ආරාධනා කළා වාදය බලන්න.

සච්චක බුදු හාමුදුරුවන්ගෙන් අහනවා, බුදු හාමුදුරුවනේ මට ප්‍රශ්ණ කීපයක් තියෙනවා ඔබ තුමාගෙන් අහන්න, ඒකට අවසරද කියලා. බුදු හාමුදුරුවො කිව්වා අහන්න කියලා. සච්චක කියනවා මං ඒ ප්‍රශ්ණය උපමාවකින් අහන්නම් කියලා. මෙන්න මේ අදහසයි දෙබසේ තිබුණේ.
සච්චක:
පොළොවේ වැඩෙන ධාන්‍ය වර්ග, ගස් වැල් ආදිය පැළවී, උස් මහත් වී ඵල දරන්නේ පොළොව මුල් කොට ගෙන මෙන් ශරීර ශක්තියෙන් කෙරෙන කර්මාන්ත කය ආත්ම කොට ගෙන නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආත්ම කොට ගෙන පිං හෝ පවු රැස් කරනවා නේද? 
බුදු හාමුදුරුවෝ :
සච්චක කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ඔබ, ඔබේ ආත්මය යැයි කියලාද?
සච්චක:
මං විතරක් නෙවෙයි මේ හැමෝම එහෙම කියනවා.
බුදු හාමුදුරුවෝ :
අනික් අයව ගාවන්න ඕනි නෑ, සච්චක ගේ අදහස කියන්නකෝ.
සච්චක:
ඔවු. මං කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ මගේ ආත්මය, මම යැයි කියලා
බුදු හාමුදුරුවෝ :
ඔටුණු පළන් රජ කෙනෙකුට තමාගේ රටේ මරන්ට ඕන කෙනෙකු මරන්ටත්, ධනය රාජසන්තක කළ යුත්තෙකුගේ ධනය රාජසන්තක කරන්නටත්, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නටත් බලය තියෙනවාද?
සච්චක:
ඔවු පුළුවං. ඔටුණු පැළැන්දේ නැති වුණත් මහ පිරිසක් ඉන්න ලිච්ඡවීන්ටත් මල්ල රජවරුන්ටත් ඒ බලය තියෙනවා.
බුදු හාමුදුරුවෝ :
එතකොට මගේ ආත්මයැයි කියපු රූපය ඔබට ඕනි ඕනි විදිහට වෙනස් කරන්න බලය තියෙනවාද? (දැං නං ප්ලාස්ටික් සැත්කම් වලිං පුළුවං. ඒත් ඒ ස්වභාවික රූපය නෙවෙයි නොවැ. ඒකත් තාවකාලිකයි නොවැ..)
සච්චක :
(කට උත්තර නැතිව බලා හිඳී…)
බුදු හාමුදුරුවෝ :
(පෙර ප්‍රශ්ණයම නැවත ඇසු සේක.)
සච්චක :
බැහැ, බුදු හාමුදුරුවනේ. මට රූපය ගැන එහෙම බලයක් නෑ.
බුදු හාමුදුරුවෝ :
එතකොට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මත් එහෙම තමන්ට ඕනි ඕනි විදිහට වෙනස් කරන්න ඔබට බලයක් තියෙනවාද?
සච්චක :
බැහැ, බුදු හාමුදුරුවනේ. මට එහෙම බලයක් නෑ.
බුදු හාමුදුරුවෝ :
ඔබ මුලින් කිව්ව තර්කයත් දැන් කියන දේත් හරිම පරස්පරයි. මොකද හිතන්නේ…
රූපය අනිත්‍යයයි නේද?
සච්චක :
එහෙමයි.
බුදු හාමුදුරුවෝ :
මොනවා හරි අනිත්‍ය නම් ඒක දුකයි ද, සැපයි ද?
සච්චක :
ඒක දුකක් නේ බුදු හාමුදුරුවනේ…
බුදු හාමුදුරුවෝ :
යමක් අනිත්‍ය නම්, වෙනස් වෙන සුළු නම් , මෙය මාගේය, මම වෙමි හෝ මගේ ආත්මය යැයි හිතන්නට පුළුවන්ද?
සච්චක :
බැහැ. බුදු හාමුදුරුවනේ..
බුදු හාමුදුරුවෝ :
අරටුවෙන් යම් ප්‍රයෝජනයක් ගන්න අරටුවක් හොයාගෙන කැලේට යන මිනිසෙකු, හොඳ විශාල කෙහෙල් ගහක් දැකලා මුලින්ම කපා ගන්නවා. ඊට පස්සේ අරටුව හොයන්න පතුර බැගින් ගලවනවා…. අරටුවක් හමු වෙයිද? 
සච්චකත් ඒ වගේ කිසිම හරයක් නැති දෙයක් හරයක් ඇතැයි හිතාගෙන වාදයට එළඹුනත් අවසන ඔබේ අදහසේ හරසුන් බව නිසාත් තර්ක කරන්නට දෙයක් නැති නිසාත් පැරදුණා නේද?
සච්චක :
බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ගෝලයන් ඔබ වහන්සේගේ අනුශාසනා පිළි අරං සැකයක් නැති විශාරදයින් බවට පත්වෙනවාද?
බුදු හාමුදුරුවෝ :
මගේ ශ්‍රාවකයින් අතීත, අනාගත, වර්තමාන කාලයන්හී රූපයන් මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යහපත් නුවණින් දන්නවා. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ධර්මයන්ද මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දන්නවා. ඒ හිංදා ඒ අය සැකයක් නැති විශාරද පිරිසක් තමයි. ඔවුන් මේ විදිහට කෙලෙස් දුරු කරලා, සසර බැඳීම් දුරු කරලා  මහ රහත් ඵලය ලබනවා.

** මෙයින් මහත් ලෙස පැහැදුණු ලිච්ඡවීන් හා සච්චක විසින් පසුදින දානය බුදු රදුන් හා භික්ෂූන් උදෙසා පිළිගන්වනු ලැබුවා.

** මගේ අදහස **
ආත්ම යන වචනය බුදු දහමේ යොදාගෙන ඇත්තේ අප භාවිත කරන ආත්ම යන වචනයට වඩා වෙනස් අරුතකින්යැයි මට හැඟේ. ස්ථීර ව පවතී වැනි තේරුමක් මෙහි ඇතැයි මම සිතමි.
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සියළු ධර්මතා නිරන්තරයෙන් වෙනස් වන හෙයින් අස්ථිර වේ. මේ මොහොතේ චතුර යැයි හඳුන්වන කෙනා තවත් මොහොතකින් සිටින චතුරට වඩා වෙනස්ය. 
මදක් සිතන්න මම මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් මම කියා කෙනෙක් නැති බව තේරුම් ගත හැකිය. අනාත්ම යන්නෙන් අදහස් කෙරෙනුයේ අස්ථීර බවයි. අනිත්‍ය යන්නෙන් ඇතිවන හා නැතිවන බවත්, දුක්ඛ යන්නෙන් දුකත් කියැවෙන බව පහසුවෙන් තේරුම් ගත හැකි වුවත් ආත්ම යන්න භවය යන අර්ථයෙන් භාවිතා කරන අප වැනි අයට මෙහි යෙදෙන ආත්ම යන වචනයේ අර්ථය වටහා ගැනීම මඳක් අපහසුය. යම් කෙනෙකුට මෙය වඩාත් පැහැදිලි කළ හැකි නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 
මෙහි ඇති කතාව සරල බසින් ලියූවේ තේරුම් ගැනීමේ පහසුව සඳහා බැවු සලකන්න.