නිදුක් බලන කට්ටිය

2012/05/16

කුශල චේතනාව පමණක් සෑහේ ද?

//චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නොකොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?
මෙය චේතනාව නොහැඳිනීම නිසා නඟන ප්‍රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක්ද? යන බව තේරුම් ගැනීම අපහසුය. පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍රශ්නය නඟන්නේ ඒ අය ය.
'චේතනාවය'යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපදනා සිත්වල ඇති 'ක්‍රියා සාධක බලවේගය'ට ය.
පින් කැමැත්තෙක් දන් දීම් වශයෙන් අහර බඳුනක් ගෙන භික්ෂුවකගේ අතෙහි තබයි. පින් කැමැත්තාට අයත් වූ ඒ ආහාර බඳුන භික්ෂුවගේ අතට පැමිණවීම දන් දීම ය. ඒ ආහාර භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයාගේ අතින් සිදු වූ සැටි සොයා බැලුවාම චේතනාව සොයා ගත හැකි ය.
දායකයාගේ අත් දෙක ආහාර බඳුන කරා ගියේත්, එය තද කර ගත්තේත්, ඔසවා ගත්තේත්, භික්ෂුව දෙසට යැවූවේත්, දායකයා ගේ ශරීරය තුළ ඇති වූ බලවේගයකිනි. එබඳු බලවේගයක් අභ්‍යන්තරයේ ඇති නොවී නම්, දායකයා ගේ අතේ නිකම්ම තිබෙනවා මිස ඒ ක්‍රියා සිදු කිරීමෙහි නොයෙදෙන්නේ ය. ඒ ක්‍රියා සිදු වන පරිදි දායකයා ගේ  අත් එහා මෙහා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගයකිනි. ශරීරය සෙලවීම් වශයෙන් ඇතිවන ඒ වායුව අභිධර්ම පොත් වල උගන්වන්නේ චිත්තජ වායෝ ධාතුව කියා ය.

මේ චිත්තජ වායෝ ධාතුව පහළ නොවී නම් අර ආහාර බඳුන භික්ෂුව අතට නො යන්නේ ය. ශරීරය සොලවන ඒ වායෝ ධාතුව ඉබේම ඇති වන්නක් නොව, එයත් යම් කිසි බලවේගයකින් ඇති කරන්නකි. ඒ බලවේගය නම් සිත හා එක්ව ඇති වන දාන වස්තුව භික්ෂූන් වහන්සේ  අතට පැමිණවීමේ උත්සාහය ය. චේතනාව ය යි කියනුයේ ඒ උත්සාහයට ය. දීම පිළිබඳ උත්සාහයක් නිසා  එම  උත්සාහයට දාන චේතනාව ය යි කියනු ලැබේ.  දන්දීමේ මුල නැතහොත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව ය. //උපුටනය රේරුකාණේ චන්ද්‍රවිමන මාහිමියන්ගේ "ධර්ම විනිශ්චය" පුස්තකයෙනි..

මගේ අදහස..
යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ පිළිබඳ අදහසක් ඇති විය යුතු බව ඇත්තකි.. එහෙත් ක්‍රියා ව ඉටු වන තුරු එම ක්‍රියාව විවිධ අවස්ථා පසු කරයි.. මේ අනුව කුශල අදහසක් ඉපැදීම යහපත් ය. එය කුශල ක්‍රියාව දක්වා සාර්ථක ව ගෙන යාමේ බලය චේතනාව ලෙස මෙහි විස්තර වේ..
අදාල චේතනාවේ ප්‍රභලත්වය නැත්නම් ශක්තිමත් බව අනුව එම චේතනාවට අදාල ක්‍රියාව ක්‍රියාත්මක වීම සිදු වනු ඇත. ක්‍රියාත්මක නොවන අදහසක් අල්ප ඵල කර්මයක් වනු ඇතිය යන්න මගේ අදහසයි..

2012/05/03

බුදුන් පුදන චෛත්‍ය තුන

රේරුකාණේ චන්ද්‍රවිමල මාහිමිපාණන් විසින් රචිත ධර්ම විනිශ්චය පොතෙන් පහත ඡේදය උපුටා ගතිමි..


ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චෛත්‍ය කොතෙක් ඇත්තේද" යි විචාළහ. "ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය" යි වදාළ සේක. "ඒ චෛත්‍ය කවරේද" යි විචාළ කල්හි; "ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේසිකය යි චෛත්‍ය තුනක් ඇත්තේය" යි වදාළ සේක. "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැඩ ඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේද"යි විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ, "ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකිය. එය කළ හැක්කේ බුදුන් පිරිනිවි කල්හිය. උද්දේසිකයට  ශාරීරික, පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහා බෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය" යි වදාළ සේක.   

================================================================
අදහස සරලව
================================================================
බුදුන් නැති කලෙක මිනිසුන්ට පූජා පැවැත්වීම පිණිස දෙවුරම් වෙහෙර ඇසුරෙහි පූජනීය ස්ථානයක් ඇති කළ හැකි දැයි බුදුන් වහන්සේ ගෙන් දැන ගනු මැනවැයි අනේපිඬු සිටාණන් කළ ආනන්ද හිමියන් වෙතින් කළ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ වෙත එළැඹි ආනන්ද හිමියන් හා බුදුන් වහන්සේ අතර වූ දෙබසකි මේ..
ආනන්ද හිමියන් : ස්වාමීනි චෛත්‍යයන් කීයක් තියෙනවාද?බුදු හිමියන් : චෛත්‍යයන් තුනකි.

ආනන්ද හිමියන් :  ඒ මොනවාද?
බුදු හිමියන් : ශාරීරික, පාරිභෝගික, උද්දේසික
ආනන්ද හිමියන් :  ඔබ වහන්සේ වැඩ වසත්දීම චෛත්‍ය කළ හැකිද?
බුදු හිමියන් :
ශාරීරික චෛත්‍ය කළ හැක්කේ බුදුන් පිරිනිවි පසුය. ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් නැතිව, සිතට බුදුන් ලංවන චෛත්‍යය උද්දේසික වේ.. බුදුන් විසින් පරිභෝග කළ බෝධීන් වහන්සේ කවරදාටත් චෛත්‍යයක් ම වේ..

=============================================================
මගේ අදහස
=============================================================
මෙහි පාරිභෝගික චෛත්‍යය.. ඉතා පැහැදිලි ව බෝධීන් වහන්සේ ලෙස දක්වා ඇත.. එහෙත් බුදුන් වහන්සේ පරිභෝග කළ වෙනත් දෑ ද පාරිභෝගික චෛත්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් එවන් දෑ දුලබ වීම නිසා බෝධි වෘක්ෂය එහි පෙරමුණ ගෙන ඇති බැවු පෙනෙයි..

බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ස්ථූප ආදිය ශාරීරික චෛත්‍යය ලෙස දැක්වේ..
ඉතා පැහැදිලි ව ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් නැතිව බුදුන් සිහිවන, සිතට බුදුන් වහන්සේ ගැන ගෞරවය එක්කරන යම් වස්තුවක් වේනම් එය උද්දේසිකය ලෙස දක්වා ඇති බැවු පෙනේ..  ශාරීරික ධාතු වලින් තොර බුද්ධ ප්‍රතිමා, ස්ථූප ආදිය මේ අනුව උද්දේසික චෛත්‍යය ලෙස හඳුනා ගත හැක.. එහෙත් අද බොහෝ දෙනා උද්දේසික චෛත්‍ය හරි හැටි හඳුනාගෙන නැති බැවු පෙනේ..