නිදුක් බලන කට්ටිය

2012/04/05

සතර සතිපට්ඨානය යනු කුමක්ද?

නිදුක් බ්ලොග් අඩවියේ මං ආ ගමනේ අරමුණ එහෙමම තිබුණත් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්ට ඕන කියලා මං හිතුවා.. මිං ඉදිරියට මෙතැන ලියැවෙන්නේ උපුටා ගැනීම් හා ඒ සම්බන්ධ මගේ අදහස් විතරයි.. ඒ හැරෙන්නට කලිං ලිවුවා වගේ ධර්ම කරුණු ලියන්නට වත්, මං දන්න විදිහට මේ ගැට ලිහන්නටවත් මං උත්සාහ කරන්නේ නෑ.. ලිහා ගන්න එක ඔයාලගේ වැඩක්.. මං කරන්නේ උපුටා දැක්වීම.. ! ඒ සමඟම මගේ අදහසත් ලියා දක්වන්නට මං හිතාගෙන ඉන්නවා..

මං මෙහෙම කරන්ට තීරණය කළේ.. ගොඩාක් දුරට හිතලා.. මොකද මේ ධර්මය අපි එකිනෙකාට වැටහෙන්නේ එක එක විදිහට.. ඉතිං මං මෙතන ගොඩනගන්න හදපු ධර්ම සාකඡ්ඡාව සිද්ධ වෙන්නේත් නැතිනම්, මං කියන දේ හරිද, වැරදිද කියලා අදහසක් මේක බලන කාටවත් ගන්න බැරි වෙනවා.. එතකොට මං කියලා තියෙන්නේ වැරදි දෙයක් නම්, මං "නිදුක්" පාඨකයන්ට කරන්නේ අසාධාරණයක්.. අඩුම ගානේ 5 දෙනෙක්වත් මේකේ මං දාන ලිපියක් කියවනවා ඇතියි කියලා මට හිතෙනවා..

මෙන්න මගේ පළමු උපුටනය..

"සති පට්ඨාන සූත්‍රය බොහෝ දෙනෙක් කියවලා ඇති. දැන ගෙන ඇති. එහි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සතර සති පට්ඨානයක් දේශනා කරනවා. එහි තුන්වෙනුවට පැහැදිලි කරන්නා වූ අනුපස්සනාව තමයි චිත්තානුපස්සනාව.


        අනුපස්සනාව කියලා කියන්නේ අනුව දැකීමයි. "පස්සති" කියලා කියන්නේ පාලි භාෂාවෙන් බලනවා කියන එකයි. "අනුපස්සති" කියලා කියන්නේ අනුව දකිනවා, විමසා බලනවා, නිවැරදිව දකිනවා. ඒකට තමයි අනුපස්සනාව කියලා කියන්නේ. එතකොට සිත අනුව ක්‍රමානුකූලව දැක ගන්න එකට, විමසා බලන එකට, වටහා ගන්න එකට කියනවා චිත්තානුපස්සනා කියලා. සතිපට්ඨානයයි කියලා තියෙන තැන "සති" කියලා කියන්නේ සිහියට, සිහි කල්පනාව, "පට්ඨාන" කියලා කියන්නේ පිහිටුවීමයි. මනාව සිහිය පිහිටුවාගෙන මේ අනුපස්සනාව කළයුතු නිසා ඒකට කියනවා සතිපට්ඨානයයි කියලා. සෑම අනුපස්සනාවක්ම සතිපට්ඨානයෙන් යුක්ත විය යුතුයි. එසේ නොවනවානම් එය සැබෑ අනුපස්සනාවක් වෙන්නේ නෑ. යමක් අනුව නිවැරදිව දකින්නට නම්, විමසා බලන්නට නම් ඒ පිළිබඳව අනිවාර්‍යයෙන්ම සිහිය පිහිටුවා ගත යුතුයි.

       ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කළා කවර කරුණක් හෝ මුල් කරගෙන, කවර කර්මස්ථානයක් හෝ මුල් කරගෙන සිහිය පිහිටුවනවා නම් නැවත නැවත ඒ අනුව විමසනවානම් බලනවානම් එය සතිපට්ඨානයයි. එය විදර්ශනාවයි. එය අනුපස්සනාවයි. මේ අනුපස්සනාව, මේ විදර්ශනාව බුදු හාමුදුරුවෝ ක්‍රම හතරකට, එහෙම නැත්නම් මාතෘකා හතරක් යටතේ ගොනු කරලා දක්වපු එක් අවස්ථාවක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රය"

මේ උපුටා ගැනීම පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි විසින් උන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරින් රචිත "සිතේ සැබෑව" නම් පොත් පිංචෙනි.

මගේ අදහස:
අපේ හාමුදුරුවෝ කාටත් තේරෙන්න ඉතා සරලව මේ කරුණු ටික කියලා තියෙනවා.. ආයේ ඒකේ ලිහන්න දෙයක් නෑ.. ඒත් බුදු දහම කියන්නේ කොයි තරම් සරල සත්‍යය ගැබ් වුණු ගැඹුරු ධර්මයක් ද කියලා අවබෝධ කරගන්න මේ වචන ටික ප්‍රමාණවත් කියලා මට හිතෙනවා.. ඒ විශ්ලේෂනය අති විශිෂ්ඨයි නොවේද? සිතුවිලි උත්පාදනය විය හැකි ප්‍රභවයන් ටික පෙළගස්වලා තියෙන අපූරුව..
1. කය එනම් පංච ඉන්ද්‍රියයන් ගේ හැසිරීම මුල් කරගෙන
2. සිතෙහි හැසිරීම මුල් කරගෙන
3. නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම ආදී ධර්මයන් මුල් කරගෙන
4. සුඛ, දුක්ඛ හා උපේක්ඛා ආදී වේදනා මුල් කරගෙන

සිතුවිලි ඇති වෙන අයුරු අනුව මෙනෙහි කිරීම සතිපට්ඨානය කියලයි මට හිතෙන්නේ.. මේ 3,4 කාරණා ආයෙමත් 1,2 කාරණා වලට සම්බන්ධයි නේද?
නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම හෝ ප්‍රඥා ආදී ගුණ ධර්ම ඇති වෙන්නේ හිතේ මයි.. ඒ කියන්නේ 2 වැනි කාරණේ මයි..
එහෙනම් විශ්ලේෂණයේ දී එලෙස වෙන් කළේ ඇයි.. ?
සිතෙහි ඇති වෙන අනෙකුත් සිතිවිල් වලට වඩා යම් විශේෂත්වයක්, වැදගත් කමක් මේ ධර්ම වල තිබෙන නිසා විය යුතුයි..
වේදනාවක් නම් එය හට ගන්නේ කය නැතිනම් හිත මුල් කරගෙන.. කය හා සිත ආශ්‍රිතව ගොඩ නැගෙන අනෙකුත් සිතුවිලි වලින් වේදනා වෙන් කර දක්වන්න වුවමනාවක් ඇති.. මේ විශ්ලේශනය සරල එහෙත් ගැඹුරු විශ්ලේෂනයක් කිවුවේ ඒ නිසයි....

ප.ලි.
සිතේ සැබෑව කියන පොත ගැන මෙතන ත් තියෙනවා..

4 comments:

  1. පෝය දිනේ වටිනා ලියවිල්ලක්. ඔබට මා ඉතාම ගරු කරනවා මේ ලිපි දැමීමෙන් කරනා සේවයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..වෙද මහත්තයෝ.. ඔබතුමා ඉන්න හිංදා කවුරු හරි මේවා කියවනවා කියලා දැනෙනවා..

      Delete
  2. අදයි නිදුක් බලන්න ආවේ , මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑනේ .. මම මේ දවස් වල සතිපට්ඨානය කියවා තේරුම් ගන්න උත්සාහ කරන අතර වාරේ තමයි ඔබේ අඩවියට පිවිසියේ. බොහොම වැදගත් කරුණු ටිකක් .. . පින් සිදු වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. අදහසට.. අවාසනාවකට..මං මේ අඩවියේ ලිපි ලියන එක නවත්වලා අවුරුද්දකටත් වඩා ගිහිං.. ඔබ එනවිට..

      Delete

ඔබේ අදහස බොහො වටී මට