නිදුක් බලන කට්ටිය

2011/09/28

තුන්තරා බෝධිය

මේක අපේ බොහෝ දෙනා දන්න වචනයක්. එහි තේරුමත් බොහෝ දෙනෙක් දන්නවා. ඒත් මං මගේ විදිහටත් කියන්නම්කෝ...


අපිට නිවන් දකින්ට ඕන වුණාට එහෙම හිතූ පමණින් නිවන් දකින්ට බෑ නොවැ. ඒකට ඉතිං දාන, ශීල, භාවනා ආදී පිංකම් ඇසුරින් පාරමිතා  පුරලා හිත පහදවාගෙන බොහොම වීරියකින්, සංයමයකින් වැඩ කටයුතු කරන්ට එපායැ. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී විදිහට දස පාරමිතා කොටස් තිහකට වෙන්වෙන බව කියවෙනවා. එයට අමතරව අපි පුරලා තියෙන පෙරුමන් අනුවත්, නිවන් අවබෝධ කරණ කාලය අනුවත් අපි හිතන පතන විදිහ අනුවත් තවත් බොහෝ කරුණු අනුවත් අපි නිවන් අවබෝධය ලබන විදිහ තීරණය වෙනවා. 


        1. බුදු
        2. පසේ බුදු
        3. මහ රහත් 


කියලා කියන්නේ මේ අවස්ථා තුන කියලා අපි කවුරුත් දන්නවා නොවැ. ඒත් ඉතිං පොඩ්ඩක් විස්තර කරණවා නං මෙන්න මෙහෙමයි.


බුදු කියලා හැඳින්වූවේ ලොව්තුරා බුද්ධත්වය. ඒක කොයි තරම් උසස් තත්වයක් ද කියලා අමුතුවෙන් කියන්ට ඕන නෑ නොවැ. ඒත් මේ තත්වය ලබාගෙන නිවන් අවබෝධ කරන්ට කොයි තරම් ඉවසීමක්, වීර්‍යයක්, පිළිවෙත් පිරීමක් තියෙන්ට ඕනද කියලා අපේ බුදු හාමුදුරුවෝ පෙරුම් පුරපු කාලයෙන්ම හිතා ගත්තහැකි නේ. බුදු කෙනෙක් ඉහත කියූ පාරමිතා කොටස් 30 ම සම්පූර්ණ කළ යුතුයි. අපේ ගෞතම බුදු හාමුදුරුවෝ පාරමී පුරලා තියෙන්නේ කෙනෙකුට බුදු වෙන්ට  අවම වශයෙන් පෙරුම් පිරිය යුතු කාලයක්.  ඒ අපේ බුදු හාමුදුරුවෝ ප්‍රඥා අධික බුදුන් වහන්සේ නමක් හිංදා. තව ඉන්නවානේ ඔය වීර්‍ය අධික ආදී වශයෙන් එක එක දක්ෂතා ප්‍රමුඛ කරගෙන බුදු වෙන බුදු වරු. උන්වහන්සේලාට ඊටත් වැඩිය කාලයක් පෙරුම් පුරන්ට වෙන වෙලාවල් තියෙනවලු. බුදු වෙන එක මොන තරම් අමාරු දෙයක්ද කියලා  ඉතිං මොනවට කියනවාද?


පසේ බුද්ධත්වය ගැන ඉතිං අපි වැඩිය කරුණු අහලා නෑ නොවැ. ඒත් මෙන්න මේ ටික නං අහලා තියෙනවා. බුදු කෙනෙකුන්ට වගේම ගුරු උපදේශ රහිතව, ඒ කියන්නේ තමන්ගේම උත්සාහයෙන් මේ බෝධියට පත් වෙන්ට පුළුවං. ඒත් මේ පසේ බුදු වරුන් පසේ බුද්ධත්වයෙන් පසුව ජීවත් වන්නේ හුදකලාවමයි. පසේ බුද්ධත්වය ලබන්ටත් අර ඉස්සෙල්ලා කියපු පාරමී, උප පාරමී කියන පාරමිතා කොටස් විස්ස සම්පූර්ණ කරන්ටම වෙනවා. මේ පෙරුම් පිරිල්ලට ගතවන අවම කාලය අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් කියලයි කියන්නේ. 


මහ රහත් කියන්නේ ලොවුතුරා බුදුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට නිවන් අවබෝධය ලබා ගන්න උතුම් තත්වයක්. මේකත් ලේසි පහසු වැඩක් එහෙම නෙවෙයි. පාරමී කියන පාරමිතා අනු කොටස් දහය සම්පූර්ණ කිරීමෙන් මේ තත්වයට එන්න පුළුවන්. ඒත් ඒ සඳහා අවම වශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වත් ගත වෙනවලු.


ඉතිං කෙටි පාරවල් වලින් නිවන් අවබෝධය කරන්ට වෙහෙසෙන්නේ නැතිව දැහැමින් සෙමෙන් සිත පහදවා ගෙන කටයුතු කිරීමෙන් හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්නට අපි ලෑස්ති වෙන්ට ඕනි. මේක දිගු කාලීන සැලැස්මක එක්තරා අදියරක් මිසක එක හීනයෙන් එළිවෙන රැයක් නොවන බව අපි තේරුම් ගන්ටම ඕනි...


අදහසක් ඇත්නම් කියලම යන්ට හොඳේ....