නිදුක් බලන කට්ටිය

2012/03/23

කර්මය හා කරුමය..


අප යම් දෙයක් කරන විට එය නොසිතූ ලෙස සිදු වුවහොත් (සාර්ථක හෝ අසාර්ථක) එය කිසියම් ගුප්ත දෙයක්  හැටියට සලකන්නට පුරුදුව සිටිමු.. 

විශේෂයෙන් යමක් එක දිගට අසාර්ථක වන විට "මේක නම් පුදුම කරුමයක්.." කියලා අපට කියවෙනවා නේද?  
ඇතැම් බොහෝ සේ දුක් විඳින අය ද, "මේක ඉතිං අපේ කරුමේ" කියා හිත හදා ගනී.. මේ කරුමය කියන්නේ දුකට ම හේතු වන දෙයක් ද? 

මට තේරෙන තරමට නම්.. කර්මය හා කරුමය කියන්නේ එකක්මය. ඒ අනුව අතීතයේ කරන ලද කර්ම වලට අනුරූපිව වත්මනෙහි අප ගේ ජීවිත වලට යම් බලපෑමක් ඇත. එනම් කුසල කර්මයකට අනුරූපීව යහපත් ප්‍රථිඵලයක් ද, අකුසල කර්මයකට අනුරූපීව අයහපත් ප්‍රථිඵලයක් ද ලැබිය හැක.. 

කර්මයක් විපාක දෙන කාලය අනුව මෙසේ බෙදෙයි..

1. දිට්ඨ දම්ම වේදනීය කර්ම :

එකී කර්මය සිදු කළ ආත්ම භවයේ දීම විපාක දේ

2. උපපඡ්ඡවේදනීය කර්ම : 

මරණින් මතු උපදින මුල් ආත්ම භවය තුළ දී විපාක දේ.

3. අපරාපරීය වේදනීය කර්ම : 

මරණින් මතු දෙවන ආත්මයේ පටන් ඕනෑම ආත්ම භවයක විපාක දේ..

4. අහෝසි කර්ම: 


මෙකී කර්ම විපාක නොදී අහෝසි වී යයි.. 

මේ අනුව අප පිනක් හෝ පවක් කළ පමණින් එය විපාක දෙනවාම යැයි සිතීම හෝ විපාක නොදේ ම යැයි සිතීම වැරදිය. 

විපාකය මඟින් බලපෑමට ලක් වෙන ක්‍රියාව අනුව කර්මය මෙසේ බෙදයි..

1. ජනක කර්ම: 

සත්වයෙක් අලුත් ආත්ම භවයක උපත ලබද්දී ජනක කර්මය ක්‍රියාත්මක වෙනවා.. පෙර ආත්ම භවයකදී සිදුකළ ප්‍රබල,  කුසල කර්මයකට හෝ අකුසල කර්මයකට අනුරූපී ව මෙම ජනක කර්මය ඇති වෙනවා. පෙර භවයෙන් චුත වෙද්දී නැත්නම් මරණයට පත් වෙද්දී ඇති වුණු සිතුවිල්ල (චුති චිත්තය) ඒ පුද්ගලයා සතු ජනක කර්ම අතරින් ඊ ලඟ භවයට අදාල ජනක කර්මය තෝරා දෙන්ට සමත් වෙනවා... කර්ම නිමිත්ත කියලාත් මෙය හඳුන්වනවා.. 

2. උපස්ථම්භක කර්ම: 

කිසියම් ජනක කර්මයක් නිසා යම් ආත්ම භවයක උප්පත්තිය ලැබීමෙන් මතු එම දිවිය පවත්වාගෙන යන්ට මෙම කර්ම දායක වෙනවා..

3. උප පීඩක කර්ම : 

මෙම කර්ම මඟින් ප්‍රබල කර්මයන් දුබල කිරීමක් සිදු වෙනවා.. ප්‍රබල අකුසල කර්මයකට එදිරිව කුසල කර්ම ක්‍රියාත්මක වීමෙන් අකුසල කර්මයේ ප්‍රබලතාවය අඩු වෙනවා.. (බෝධි පූජා, සෙත් ශාන්ති වැනි සුළු පින්කම් මඟින් සිදු කරන්නේ මෙවැනි දෙයක්)  මෙය ප්‍රබල කුසලයකට එරෙහිව අකුසල කර්ම රැසක් කිරීමෙනුත් සිදු වෙනවා.. එනම් දිගින් දිගටම යම් අකුසලයක් කිරීම නිසා පල දෙන්නට තිබූ කුසලයක ප්‍රබලතාවය ගිලීහී යන්නට පුළුවන්..

4. උප ඝාතක කර්ම: 

මෙම කර්ම මඟින් සත්වයා ගේ ආත්ම භවය නිමා කරන්ට යෙදෙනවා.. එයට බලපාන කර්මය කුසල කර්මයක්ද, අකුසල කර්මයක් ද යන්න තීරණය වන්නේ ගෙවමින් සිටින භවයේ ස්වභාවය අනුවයි.. එනම් දුගතියක ඉපැදී සිටින විට ඉන් මිදීම සැපතක් වන නිසා එම කර්මය කුසල කර්මයක් වෙන්නම අවශ්‍යයි.. 

ඒ වගේම විපාක දීමේ ප්‍රමුඛතාවය අනුවත් කර්ම ප්‍රභේද කරලා තියෙනවා.. 

1. ගරුක කර්ම: 

 ආනන්තරීය පාප කර්ම හා වැඩූ ධ්‍යාන ගරුක කර්ම ලෙස සලකනවා.. මේවා ප්‍රබලත්වයෙන් ඉතාම ඉහලයි.. 

2. ආසන්න කර්ම :

මරණාසන්න මොහොතේදී සිහි කළ කර්ම  මෙසේ හඳුන්වනවා.. ගරු කර්ම ලඟට ප්‍රමුඛ තාව හිමි වන්නේ ආසන්න කර්ම වලටයි..

3. ආචීර්ණක කර්ම:

දින චර්‍යාවේ පුරුද්දක් ලෙස හෝ ආචාර ධර්මයක් ලෙස පුරුදු කළ කර්ම මේ ඝණයට වැටෙනවා.. ඊලඟ ප්‍රමුඛතාවය හිමි වෙන්නේ මෙම කර්ම වලටයි..

4. කෘතවාත් කර්ම: 

ඉඳ හිට කරපු දුබල කර්ම මේ ඝණයට වැටෙනවා.. අඩුම ප්‍රමුඛතාව හිමි වෙන්නේ මේ කර්ම වලටයි..

මේ ඔක්කොටමත් පස්සෙ විපාකයට අදාල සත්වයා ජීවත් වෙන තත්වය (භවය : දෙවු, මිනිස්, ප්‍රේත..) අනුවත්  මේ කර්ම ප්‍රභේද කරලා තියෙනවා... 

අකුසල කර්ම : 

කාම ලෝක, රූප ලෝක වල දී විපාක ලබා දෙනවා වගේම සතර අපායේ ඉපදෙන්ටත් හේතු වෙනවා.. 

කාමාවචර කුසල කර්ම: 

කාම ලෝක, රූප ලෝක වල දී විපාක ලබා දෙනවා වගේම දෙව් ලොව හෝ මිනිස් ලොව ඉපදෙන්ටත් හේතු වෙනවා..

රූපාවචර කුසල කර්ම : 

රූප ලෝක වල විපාක ලබා දෙන අතර එම ලෝක වල ඉපදෙන්ටත් හේතු වෙනවා..

අරූපාවචර කුසල කර්ම : 

අරූප ලෝක වල විපාක ලබා දෙන අතර එම ලෝක වල ඉපදෙන්ටත් හේතු වෙනවා.

මගේ අදහස:

ඉහත සංක්ෂිප්ත කරන ලද දීර්ඝ විස්තරයෙන් පැහැදිලි වන කරණා අතර, 

1. සියල්ල කර්මය මත රඳා නොපවතින බව
2. ඇතැම් කර්ම උත්සාහයෙන් වෙනස් කළ හැකි බව
3. පුණ්‍ය ක්‍රියා නිතර නිතර කිරීමෙන් හා නිතර මෙනෙහි කිරීමෙන් පුණ්‍ය ශක්තිය වර්ධනය වී ප්‍රබල පුණ්‍ය කර්මයක් නිර්මාණය වන බව
4. එසේ නිතර පුණ්‍ය ක්‍රියා කිරීමට යොමු වීමෙන් පෙර කළ අකුසල කර්මයන් වුවද යටපත් කිරීමට හෝ එහි බලය අවම කිරීමට හැකි බව
5. අනලස්ව කුසලයෙහිම යෙදිය යුතු බව

ආදී කරුණු බොහොමයක් වේ.. මේ කාරණා ඔබේ සිතටත් දැනේවායි පතමි..!





2 comments:

  1. ඉතාම වටිනා ලිපියක්. මේ ගැන වෙනත් කෝණයකින් ලඟදීම මමත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න.. කර්මය ගැන විවිධ කෝණ වලින් බලන්න පුළුවන් වගේම එසේ බැලීමෙන් ජීවිතය ඵලදායී කර ගත හැකියි..

      Delete

ඔබේ අදහස බොහො වටී මට