නිදුක් බලන කට්ටිය

2014/03/10

වංචක ද්වේශය

ද්වේෂය බුදු දහමට අනුව සතරාකාරය. මේ ද්වේෂයේ වංචනික ආකාර බොහෝ ප්‍රමාණයක් ඇත.

ඉන් එකකි අවිහිංසාව වශයෙන් පහළවන්නා වූ වංචක ද්වේෂය.

කරුණාව හා කරුණා පූර්වභාගය අවිහිංසාව නම් වේ. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතෙකු විසින් දුර්වලයෙකු පෙළනා අයුරු දකිනා කල්හි සමහරවිට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. ( උදා - පන්ති වාදය ). සර්පයෙකු විසින් මැඩියෙකු ගිලින කල්හි මැඩියා පක්ෂය ගෙන සර්පයාට පහර දෙන්නේ මේ අවිහිංසා ප්‍රතිරූපක ද්වේෂයෙනි. කාහට වුවත් පීඩාවක් කිරීම හිංසාවම මිස අවිහිංසාව නොවේ.

මොවුන්ගේ විශේෂ ස්වභාවයක් නම් පක්ෂයක් ගෙන තවත් පක්ෂයකට පීඩා කිරීමයි. ( උදා - දේශපාලනය )

සමහරු සත්ත්වයන්ගේ මාංශ අනුභව කරන්නන්ට පරිභව කරමින් අපහාස කරති. ඔවුන් එය ඔවුන්ගේ අවිහිංසාව යැයි සිතති. නමුත් එයින් දෙපක්ෂයටම පළක් නොවේ. යමක් කළ යුත්තක් නොවේ නම් ඒ ඇයි දැයි හේතු කාරණා සහිතව පැහැදිලි කරදී අදාළ පුද්ගලයා යහපතෙහි පිහිටුවීම නියම අවිහිංසාවයි.

සමහරු වේදනා විඳින සතුන් දැක අවිහිංසාව යැයි සිතා ඔවුන් වේදනාවෙන් මුදවන්න කරනවා යැයි සිතමින් ඔවුන් මරා දමති. ද්වේෂයෙන් තොරව ප්‍ර‍ාණඝාතය කළ නොහැක.

අන්‍යන්ට ගර්හා කරනු කැමති සමහරුන්ගේ සිතේ ද කරුණා ස්වරූපයෙන් ද්වේෂය පහළ වේ. එවිට ඔවුන් කරුණාව නිසා අන්‍යන්ට හිතසුව පිණිස යමෙකුගේ වැරදි හුවා දැක්වීම යහපත් යැයි සිතා කරුණෘ වේෂයෙන්ම අන්‍යන්ට ද්වේෂයෙන් ම ගර්හා කරති. ( උදා - සමාජයේ සිදුවන මඩ ගසා ගැනීම්).

අසත්පුරුෂයන් ඇසුරු කිරීම නොයෙක් විපත් වලට හේතුවකි. ඔවුන්ගෙන් වෙන්ම විසීම යහපත්ය. සමහර කෙනෙක්ට සමහර කෙනෙකුන් හා සම්බන්ධව හටගන්නා ද්වේෂය අසත්පුරුෂ පරිවජ්ජනතා ස්වරූපය ගනී. එයින් වංචිත වූ තැනැත්තේ තමා නොසතුටු පුද්ගලයන් ( ඇසුරු නොකරන හෝ ඇසුරු කිරීමට අකමැති පුද්ගලයන් ) දුටු කළ අසත්පුරුෂයන්ගෙන් දුරුවීමේ ආකාරයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගර්හාද කරයි. ( උදා - පෙනුමෙන් හා හැසිරීමෙන් අපිව විනිශ්චය කොට තැන තැන අපිට බනිමින් යන අය).

පුද්ගලයෙකුට ගර්හා කිරීම නොසුදුසුය. එහෙත් පාප ක්‍රියාවන්ගේ දෝසයක් ඇත්නම් කෙනෙකුට පෙන්වා දිය යුතුය. එයට පාප ගර්හාව යැයි කියනු ලැබේ. පුද්ගලයෙකුට ගර්හා කිරීමත් (හේතු රහිතව හෝ නැති වැරදි පෙන්වමින්) පාපයක් බැවින් පවට බිය ඇත්තෝ එසේ නොකරති. නමුත්, එසේ පුද්ගල ගර්හාව වරදක් බව පිළිගන්නා ඇතැමුන් කෙරෙහි අන්‍යයන්ට ගර්හා කරනු කැමති බව වූ ද්වේෂය පාප ගර්හිතා වේෂයෙන් පහළ වන්නේය. එයින් වංචා වූ තැනැත්තෝ පාපයට ගර්හා කරන්නේ යැයි සිය සිත රවටමින් පුද්ගලයන්ට ගර්හා කරති. ( උදා - සමාජයේ ඇති මඩ ගසා ගැනීම්).

- ප්‍රඥාවන්තයන් උදෙසා රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ දේශනාවක් ඇසුරෙනි..

2 comments:

  1. ඉතාම පැහැදිලිව සරළව ඉදිරිපත් කරලා තියෙනවා.නොදැනුවත්වම අප අතින් සිදුවන වැරදි..අද ඉඳලා හදාගන්න ඕනි.ව්ශ්ව මල්ලි නිවරදි කිරීමට ඔයාට පින්.

    ReplyDelete
  2. ඉතාම වටිනා, මමද දුටු / විඳි අත්දැකීම් හා සමවෙන ලියවිල්ලක්.

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට