නිදුක් බලන කට්ටිය

2011/12/09

කාමයේ වරදවා හැසිරීම..

මේක හරි කුතුහලය දනවන වචන පෙළක් වෙලා තිබුණා කාලයක්.. පස්සේ ඔය වචන ටික නුරුස්සන ගතියක් ඇති කරන වචන ටිකක් බවට පත් වුණා.. දැං ආයෙමත් පොඩි කුතුහලයක් ඇති වෙලා...

පුංචිම කාලෙ තේරුණේ නෑ මොකක්ද ඔය හරුපෙ කියලා.. කවුරුත් කියලා දුන්නෙත් නෑ නොවැ.

ටිකක් ලොකු වෙනකොට කට්ටිය කිවුවා තමන් බැඳපු කෙනාත් එක්ක හැර වෙනත් අයත් එක්ක ඔය ඕනන්නෙ නැති ඒවා කරණ එකටලු එහෙම කියන්නේ කියලා..



ඊටත් පස්සේ ඉගෙන ගත්තා අලුත් වචන ටිකක්..

ඒ තමයි "පරදාර සේවනය" . ඉතිං කලිං දන්න තරමයි මේ වචනේ විග්‍රහයයි එකතු කරලා බැලුවහම හිතුණා පරදාර සේවනය තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ කියලා.. ඉතිං අපි ඕවට එකෙන්ම විරුද්ධයි නොවැ.. ඉතිං කාමයේ වරදවා හැසිරෙනවා කිවුවහම කොයි තරම් නරක වැඩක්ද කියලා නුරුස්සන ගතියක් ඇති වුණා..

තව තව දේවල් ඔලුවට වැටෙනකොට මට ආයෙමත් ඇති වුණේ කුතුහලයක්.. කාමය කියලා කියන්නේ ලිංගික එක්වීමක් නෙවෙයි කියලා මට වැටහුණා..

කාම වස්තූන් (කාමුක වස්තූන් නෙවෙයි) එක්ක තියෙන ගනු දෙනු නැත්නම් හැසිරීම් තමයි ඔය කාමයේ හැසිරීම කියන්නේ.. ඉතිං ඔය කාම වස්තූන් එක්ක වැරදි හැසිරීම් තියාගන්න එක තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ.. ඉතිං අපි කොයි තරං කාමයේ වැරදියට හැසිරිලා තියෙනවද කියලා දැන් මට හිතෙනවා.. තාමත් දවසකට කී පාරක් කාමයේ වරදවා හැසිරෙනවාද? (දැං මූ මෙතන බණ කියන්න ආවට මහ අපතයෙක් කියලා මට බණින්ට එහෙම ලෑස්ති වෙන්ට එපා ඕං..)

කාම වස්තූන් කියන්නේ මොනවාද?

කම් සැප විඳිම සඳහා අපව පොළඹවන දෑ.. මං පොඩි ලිස්ට් එකක් කියන්නද?
1. අපේ දෙමවුපියෝ

2. අපේ ළමයි
3. මගේ බිරිඳ ඇතුළු  මං ආදරය කරණ හැමෝම
4. මගේ ඇඳුම් පැළැඳුම්
5. අපේ ගෙදර, වාහන සහ ගෙදර බඩු මුට්ටු.

තව කොයිතරම් දේ තියෙනවද?


කාම භෝගී ගිහියෝ කියලා අපිව හඳුන්වන්නේ අපි කාම වස්තූන් පරිහරණය කරන්න මහත් කැමැත්තක් ඇල්මක් ඇති උදවිය නිසා..

මේ කාම වස්තූන් වුණත් ගානට මිම්මට හා නිසි පරිදි පරිහරණය කළොත් ඕක වරදවා හැසිරීමක් වෙන්නේ නෑ... ඒත් අපි දෙමවුපියන්ට කොයි තරම් බැඳිලා ඉන්නවද.. ? එහෙම බැඳෙන්න බැඳෙන්න වැරදි පැත්තටයි යන්නේ.. අපි දෙමවුපියන්ට විරුද්ධව හෝ වෛරීව කටයුතු කරනවාද? එහෙම කරනකොටත් වැරදි පැත්තටයි යන්නේ... අපි දෙවැනි කාරනේ වැරැද්දක් ලෙස දැක්කත් පළමු එක හොඳයි කියලනේ දකින්නේ.. අපි දෙමවුපියන්ට අපේ යුතුකම් හා වගකීම් ටික ඉටු කරන්න ඕන කැපවීමෙන් හැම විටම.. එහෙම නැතුව මළා ට පස්සේ මහ හයියෙන් අඬලා මොටෝ.. සංවේදී කමට ටිකක් හැඬෙන එක නෙවෙයි මං කියන්නේ.. ලෝකෙට පේන්න අඬන එක..

මේ කාරණේ මෙනෙහි කළොත් අපිට අපේ ජීවිතේ පුදුමාකාර වෙනසක් කරන්න පුළුවන්.. එකෙන්ම..!
මොකද කියන්නේ.. කාමයේ වරදවා නොහැසිරෙන්න උත්සාහ කරමුද? මෙහෙම බැලුවොත් වැඩිපුරම කඩන සිල්පදේ මේකයි..


ප.ලි



බ්‍රහ්මචාරීව වෙසෙන එක මේ සිල්පදේ රකින එකත් එක්ක බැලුවහම සෑහෙන්න වෙනස් දෙයක්... ඒක  වෙනම කතා කරමු.

මේ තනිකර මගේ අදහස්.. මං කොහේ වත් ධර්ම දේශනාවක අහලා නෑ මෙහෙම..

ඔයාලා මොකද මේ ගැන හිතන්නේ කියන එක නම් පුදුමාකාර විදිහට වැදගත්..