නිදුක් බලන කට්ටිය

2012/02/08

පිං දීලා (මළ ගිය ඇත්තෝ) නිවන් දැක්කවීම.

අද කාලයේ පින හා කුසල දෙවර්ගයකැයි කියයි.. එහෙත් මට නම් මේ දෙක එකක් ම යැයි හැඟේ... 

යම් ක්‍රියාවක්, කථාවක් හෝ සිතුවිල්ලක් මුල් කොට ගෙන සිත පිරිසිඳු වේද, එය පින ලෙස හැඳින්විය හැක. මේ මේ දේ කිරීමෙන්, මේ මේ දේ කථා කිරීමෙන්, මේ මේ දේ සිතීමෙන් පින් සිදු වන බව එනයින් අප නිගමනයකට පැමිණ ඇත්තෙමු.  මේ වන තෙක් පිනත් කුසලයත් අතර වෙනසක් නොවේ.. 

දැන් මේ උපයාගත් පින ඇසුරින් ගනුදෙනුවක් කිරීමට අපි සූදානම් වෙමු.. එනම් සිත පිරිසිඳු කරමින් උපයාගත් පින, කෙළෙස් එක් කරමින් වියදම් කරන්නට සූදානම් වෙමු. 

1. මේ භවයේ සැප පහසුව පතමින් කාම තෘෂ්ණාව වඩමු.
2. මතු භවයේ දෙවු මිනිස් සැප පතමින් භව තෘෂ්ණාව වඩමු.
3. තම මළගිය ඥාතීන් හට පින් දෙමින් ඔවුන් කෙරේ වූ ඇල්මම වඩමු

මේ ආදී නොයෙක් අයුරින් මේ පින් වියදම් කරන්නට යන්නේ කෙළෙස් වැඩෙන අයුරින් වීම අභාග්‍යයකි. 

කෙනෙකු මිය ගිය පසු "නිවන් සැප ලැබේවා" යැයි බැනර් දමමු. නොයෙකුත් පුණ්‍ය කර්ම කරමින් පිං පෙත් පමුණුවමු. එහෙත් ජීවත්ව සිටියදී ලබාගත් අවබෝධයක් මිසක මියගිය පසු නම් නිර්වාණාවබෝධය ලැබෙන්නේ නැත. 

පිං පැමිණවීමේ ක්‍රමවේදයේ වැදගත්කමක් නැතිද?
මළගිය තැනැත්තා, මරණින් මතු උපදින්නේ දෙවියන් අතර හෝ ප්‍රේතයන් අතර නම්, ඒ තැනැත්තා පිං බලාපොරොත්තුවෙන් සිටියහොත් පිං අනුමෝදන් විය හැක. එසේ නැතිව මිනිස්, තිරිසන්, අපාගත ආදී අනෙකුත් ලෝක වල උපන්නේ නම් පිං අනුමෝදන් විය නොහැක.  වැදගත් ම කරුණ නම්, අප කළ යුත්තේ අපගේ ඥාතියෙක් හෝ පිං බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනෙක් මේ පිං අනුමෝදන්ව සැපයට පත් වේවා කියා පතමින් සිත පහන් කර ගැනීමයි. වැඩි දෙනෙකුට බෙදුවාය කියා පිනෙහි බලය හීන වී යන්නේ නැත.
ජීවත්ව සිටින්නවුන්ට පිං පැමිණවීම අරුත් සුන් වේද?
මෙය එක අතකට අරුත් සුන් දෙයකැයි සිතේ. එහෙත් කෘතවේදී බව පළ කිරීම ඉතා හොඳ ගුණයකි. පිං දුන්නත් නැතත්, පුණ්‍ය ක්‍රියාවක් සිදු කළ සැණින් පිනක් සිදු වේ.. අප එය අනුමෝදන් වන්නේ කෙසේ දැයි අප තෝරා ගත යුතුය. කෙළෙස් සහිත ව ද? කෙළෙස් රහිත ව ද? එය අපගේ වැටහීමේ තරම අනුවය. කෙළෙස් රහිත නම් ඒ කුසලය යැයි වහරති. කෙළෙස් සහිත නම් එය පින යැයි වහරති. මේ දෙක දෙකක් යැයි මට නම් තවම නොසිතේ..

ප. ලි.
හැමදාම වගේ මං ලිවුවේ බුදු දහම ගැන මට හිතෙන දේවල්. නිවන මරණයෙන් මතු ලබන දෙයක් වගේ හැඟීමක් සමාජය තුළ ඇතිවෙලා තියෙනවා කියලා හිතුණ නිසාත්, පින වැරදි කොණින් අල්ලාගෙන ඉන්නවාය කියලා හිතුණ නිසාත් තමයි මේ ටික ලිවුවේ..  සංවාදයට විවෘතයි..






6 comments:

  1. ඔබගේ දිගුව ට ස්තුතියි.. එම බණෙහි කියන්නෙත් පින සහ කුසලය කියා දෙකක් නැති බව නේද?

    ReplyDelete
  2. ඊට වඩා සරලව කුසල කියන්නෙ ‍යහපත් ක්රිවයාවටත් පින කියන්නෙ ඒ ක්රිියාවෙ ප්රරතිඵලයත් කියලා හිතුවොත්...

    ReplyDelete
  3. චතුර විජේකෝන්February 9, 2012 at 9:37 PM

    ඒක එහෙම නෙවෙයි කියන එකයි මං කියන්න හැදුවේ.. ඉහත කමෙන්ටුවේ තියෙන දිගුවේ පැහැදිලි කරන්නෙත් කුසලයත්, පිනත් යන දෙකම, එකම දෙයක් ගැන කරන හැඳින්වීම් දෙකක් කියලා.. ඒ කියන්නේ භාවිතයේ තමයි ගැටළුව තියෙන්නේ..

    අනිත් එක කුසලය කියන්නේ ක්‍රියාවක් නොවෙයි.. පාපයෙන් වෙන්වීම කුසලය ලෙස සමහරුන් අර්ථ දක්වනවා.. හැබැයි එහෙම නම් ඇයි "සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා" කියන්නේ..? පවු නොකර කුසල් කිරීමෙන් අපට එහි ආනිසංශ ලැබෙනවා.. ඒත් සිත පහදවා ගත්තේ නැත්නං කෙළෙස් වැඩෙනවා.. සිත පහදවා ගත්තොත් නිවන කරා ලං වෙනවා..

    එහෙම වෙනවා කියලා තමයි දැනට මට වැටහෙන්නේ..

    බොහොම ස්තුතියි අයියා මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වුවාට..

    ReplyDelete
  4. පන්සල් හංදියFebruary 21, 2012 at 5:36 AM

    “එසේ නැතිව මිනිස්, තිරිසන්, අපාගත ආදී අනෙකුත් ලෝක වල උපන්නේ නම් පිං අනුමෝදන් විය නොහැක.“
    මේ දේ දන්න කෙනෙක් ඉන්නවා නං මීට වඩා පැහැදිලි කලා නං .......

    ReplyDelete
    Replies
    1. කල්හාර ඇසූ පැනයට වෙනත් කෙනෙක් පිළිතුරු දී නොමැති නිසා මම ම දන්න තරමින් පිළිතුරු දෙන්නම්..


      මිලින්ද ප්‍රශ්නයෙහි දී මිළිඳු රජතුමා විසින් අසන ලද පැනයකට නාගසේන රහතන් වහන්සේ ගේ පිළිතුරෙන් මේ පිළිබඳ මනාව විස්තර වේ..

      එකසිය තිස් හතක් වන නිරයේ හෝ තිරිසන් ලෝකයේ අයද, මිනිසුන්ද පින් නොලබති.. එහෙත් චතුර්විධ ප්‍රේත නිකායයන් අතරින් පරදත්තුපජීවී නම් ප්‍රේත නිකායේ උපන් අය නිසැකවම පින් ලබති..ඔවුන් යැපෙනුයේ අන් අය ලබා දෙන පින් වලිනි.. අනෙක් ප්‍රේත නිකායයන් වන (වන්තාසික), (ඛුප්පිපාසික), (නිජඣාසික) යන නිකායයන් වලදී පින් අනුමෝදන් විය නොහැක..

      කෙසේ වෙතත් මිලින්ද ප්‍රශ්නයේ දී දෙවියන්ට ද පින් ලැබිය නොහැකි බවක් කියැවේ.. එහෙත් දෙවියන් පින් බලාපොරොත්තුවෙන් සිටියහොත් අනුමෝදන් විය හැකි බව මම අසා ඇත්තෙමි..

      Delete

ඔබේ අදහස බොහො වටී මට