නිදුක් බලන කට්ටිය

2012/06/30

වඳින්න.. ගාථා කියන්න ඕනැමද..?

වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් වුවමනා බවක් පිටකත්‍රයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. පැරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය. චෛත්‍යය හෝ බෝධිය වැඳිය යුතු ආකාරය සාමඤ්ඤ ඵල සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේය.


චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං, බුද්දකං චෙ තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං,  චෙතියං වන්දිත්වා බොධියංගණං පත්තෙනා පි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බොධිං වන්දිතබ්බො.


" සෑ මලුවට නැඟ ඉදින් සෑය මහත් වේ නම් තුන් වරක් ප්‍රදක්ෂිණා කොට අට තැනකදී වැඳීම කළ යුතුය. ඉදින් සෑය කුඩා නම් එසේම ප්‍රදක්ෂිණා කොට අට තැනකදී වැඳිය යුතුය. චෛත්‍යය වැඳ බෝ මලුවට පැමිණියහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව කොට බෝධිය වැඳිය යුතුය" යනු එහි තේරුමය.

ගාථා කිය යුතු බවක් එහි සඳහන් වී නැත. එහි සඳහන් වන්නේ ප්‍රදක්ෂිණා කරමින් තැනින් තැන නැවතී පසඟ පිහිටුවා වැඳිය යුතු බවය. 





උපුටා ගැනීම : රේරුකාණේ චන්ද්‍රවිමල මාහිමිපානන් විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයෙනි..

මගේ අදහස:
බුදුන් වහන්සේ කෙරෙහි අප තුළ ඇති ගෞරවය කෙබඳුද..? එබඳු ගෞරවයක් සිත් හී රුවාගෙන සෑය වන්දනා කිරීම මිසක තේරුම වත් හරි හැටි නොදන්නා ගාථාවක් මිමිණීමෙන් ප්‍රයෝජනයක් වේදැයි සැකයකි.. එහෙත් අප සතු සංස්කෘතිකාංගයක් වන ගාථා කීම මතු පරපුරටත් ඉතුරු කිරීම වෙනුවෙන් ගාථා කියා එම වන්දනාවෙහි යෙදීම අප සතු යුතුකමකි..

3 comments:

  1. ගාථා කියන එක ඒ පූජාව තව තවත් විස්තර කිරීමක්නේ. ඒ වගේමයි ගාථාවලින් පවා ජීවිතයේ සොබාවය අනිත්‍යතාවය වගේ කරුණුත් කියවෙනවානේ. ඒක නිසා වඩා වැදගත් ගාථාවල තේරුම් නියමාකාරයෙන් දැනගෙන කියන එක

    ReplyDelete
  2. ගාථා කියා වැදීම නොකළත් කුසල් සිදුවෙන බව වගේම අර්ථය දැනගෙන කියන ගාථා නිසා වඩාත් කුසල් සිදුවෙන බවත් රේරුකාණේ හිමියන්ගේම "පුණ්‍යෝපදේශය" පොතේ තියෙනවා.

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට