නිදුක් බලන කට්ටිය

2012/01/25

ද්වේශ නොකරම බැරිද?

මීට පෙර කතා කළ ස්වරූපයේ ම කාරණාවක් ගැන අදත් කතා කරන්නට සිතුවෙමි..

සතර අගති වලින් එකක් ලෙසත් අකුසල මූල වලින් එකක් ලෙසත් හැඳින්වෙන ද්වේශය අප සිතනවාට වඩා පරාසයක විහිදී ඇතැයි මට හැඟේ.. යම් දෙයකට, කෙනෙකුට හෝ ක්‍රියාවකට දක්වන විරුද්ධත්වයේ දී  ද්වේශය ඇති විය හැක.. ද්වේශයට විවිධ වෙස් ඇත.

1. පළි ගැනීමේ ස්වරූපය හෝ රළු ස්වරූපය.
යම් දෙයකට තමාගේ ඇති විරුද්ධත්වය නිසා ක්‍රෝධයෙන් ගහ මරා ගන්නට, බැණ ගන්නට යති.
2. බිය
යම් දෙයක් කෙරෙහි දක්වන බියක් ලෙස ද්වේශය පැන නඟින අවස්ථා ඇත. මේ උදාහරණය සලකමු.. අප වාහනයක් පදවාගෙන යන විට තනි ඉර කපන එක වරදක් බැවු අපි දනිමු. එහෙත් අපි අවශ්‍යතාවයක් වුවහොත් එම තනි ඉර කපා ගෙන යමු. මේ අවස්ථාවක පොලීසියෙන් සිටියොත් බියක් ඇති වේ.. එහෙත් මෙය බියක් නොව පොලිස් නිලදරුවා ඉදිරියේ දඩ කෑමට ඇති විරුද්ධත්වය බව විමසා බැලුවොත් වැටහේ.. මෙලෙස බොහෝ විට බිය යන ප්‍රතිරූපකයා ලෙසින් ද්වේශය ඇති වේ.

3. ශෝකය
හොඳ හැටි ආයුෂ විඳ මිය ගිය මවක් සලකන්න. ඇය ජීවත්ව සිටි කාලයේ වත් හරියට නොසැලකූ දූ දරුවන් ඇගේ අවසන් කටයුතු දා මහ හඬින් හඬමින් ශෝක කරයි. මෙය සැබෑවටම ශෝකය ද?  මව ජීවත්ව සිටි කාලයේ මවට සලකන්නට නොහැකි වීම ගැන තමා තුළ ම මතුවන විරුද්ධත්වය එළියට පැනීමක් ද?  මළ ගෙයකදී, යථාර්තය තේරුම් ගෙන සංවේගය ඉවසීම  නොකොට දිගින් දිගට හඬා වැටෙන්නේ තමා කෙරෙහි හෝ එම වෙන්වීම කෙරෙහි ඇති විරුද්ධත්වය නිසාමය.

මේ ආදී වශයෙන් ගත් විට, මෛත්‍රිය, ලැජ්ජාව, ගර්හාව, අල්පේඡ්ඡතාවය ආදී බොහෝ ප්‍රතිරූපක ධර්ම වෙසින් ද්වේශය මතුව එන අයුරු විමර්ශනය කළ හැක.

ද්වේශයෙන් මිදීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව දැන් පැහැදිලියි නේද?

ප.ලි
බොහෝ විට ද්වේශය ලෙස සලකන්නේ මා අංක 1න් කතා කළ කාරණයයි. එහෙත් ද්වේශයට එයිට වඩා පුළුල් අරුතක් ඇති බව පෙන්වීමටයි මා උත්සාහ කළේ..

හැමදාම වගේ සංවාදයට විවෘතයි..

2012/01/11

මත් ද්‍රව්‍ය

මත් ද්‍රව්‍ය ගැන මගේ විග්‍රහයත් මීට කලිං කාමයේ වරදවා හැසිරීම ගැන තිබුණා වගේ ටිකක් වෙනස් විග්‍රහයක්.

පොඩි කාලෙ මං ඔය මත්ද්‍රව්‍ය කියලා හිතං හිටියේ සිගරැට් සහ අරක්කු කියන දෙවර්ගය සහ ඒවයේ ආදේශක වන බීඩි, සුරුට්ටු සහ රා වගේ ඒවා විතරයි.. ඒත් පහු කාලීනව මේ ලිස්ට් එකේ තවත් ආදේශක වගේම වෙනත් විදිහේ මත් ද්‍රව්‍යත් තියෙන බව තේරුණා..

දුම ඉරීමෙන් : සිගරැට්, බීඩි, සුරුට්ටු වලට අමතරව ගංජා මල්, හෙරෝයින් වගේ මත් ද්‍රව්‍යත්...
මත් පැන් ලෙස : අරක්කු, බියර්, රා, වයින්, විස්කි, බ්‍රැන්ඩි, කසිප්පු වගේ මත්ද්‍රව්‍යත්
කෑමෙන් : බුලත් විට (දුංකොල), මදන මෝදකය වගේ මත්ද්‍රව්‍යත්තියෙන බව මං ලොකු වෙනකොට දැන ගත්තා..

ඒත් මෑතකදී මට තේරුණා අපි මත් වෙන්නේ මේවැයින් විතරක් නෙවෙයි කියලා.. අපේ හිත පසිඳුරන් හරහා විවිධ දේවල් වලින් මත් වෙනවා.. මේ වෙලාවට අපට පියවි සිහිය නෑ.. නැත්නම් පියවි සිහිය අඩුයි. සමහර විට ක්‍රීඩාවෙන්, ඉගෙන ගැනීමෙන්, සිංදුවකින් වගේ හොඳයැයි සැලකෙන දෙයකින් වුණත් මත් වෙන්න පුළුවන්.. අපි උත්සාහ කරන්න ඕන මේ මත් වීම අවම කරන්න..

සමහරු ලස්සන ගෑණු ළමයෙක් දැක්කාම මත් වෙනවා.. ඒ ආශාවෙන්.. රාගයෙන්.. තවත් සමහරු මුදල් නිසා මත් වෙනවා... ඒ තණ්හාවෙන්..

මේ වගේ හොඳට මෙනෙහි කළොත් අපේ මත් වීම් ගැන හිතාගන්න පුළුවන්.. ඉතිං එතකොට මත්ද්‍රව්‍ය වෙන්නේ මොනවද කියලත් හිතාගත්ත හැකි නොවැ..

ප.ලි
මේකත් මගේ ම අදහසක්. ඒ හිංදා පරහක් එහෙම තියේනං කියන්ට හොඳේ..

මේ ගැන ඔයාලට හිතෙන්නේ මොනවද කියලත් කියලා යන්න පුළුවන් නම් ස්තුතිවන්ත වෙනවා..