නිදුක් බලන කට්ටිය

2011/09/28

තුන්තරා බෝධිය

මේක අපේ බොහෝ දෙනා දන්න වචනයක්. එහි තේරුමත් බොහෝ දෙනෙක් දන්නවා. ඒත් මං මගේ විදිහටත් කියන්නම්කෝ...


අපිට නිවන් දකින්ට ඕන වුණාට එහෙම හිතූ පමණින් නිවන් දකින්ට බෑ නොවැ. ඒකට ඉතිං දාන, ශීල, භාවනා ආදී පිංකම් ඇසුරින් පාරමිතා  පුරලා හිත පහදවාගෙන බොහොම වීරියකින්, සංයමයකින් වැඩ කටයුතු කරන්ට එපායැ. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී විදිහට දස පාරමිතා කොටස් තිහකට වෙන්වෙන බව කියවෙනවා. එයට අමතරව අපි පුරලා තියෙන පෙරුමන් අනුවත්, නිවන් අවබෝධ කරණ කාලය අනුවත් අපි හිතන පතන විදිහ අනුවත් තවත් බොහෝ කරුණු අනුවත් අපි නිවන් අවබෝධය ලබන විදිහ තීරණය වෙනවා. 


        1. බුදු
        2. පසේ බුදු
        3. මහ රහත් 


කියලා කියන්නේ මේ අවස්ථා තුන කියලා අපි කවුරුත් දන්නවා නොවැ. ඒත් ඉතිං පොඩ්ඩක් විස්තර කරණවා නං මෙන්න මෙහෙමයි.


බුදු කියලා හැඳින්වූවේ ලොව්තුරා බුද්ධත්වය. ඒක කොයි තරම් උසස් තත්වයක් ද කියලා අමුතුවෙන් කියන්ට ඕන නෑ නොවැ. ඒත් මේ තත්වය ලබාගෙන නිවන් අවබෝධ කරන්ට කොයි තරම් ඉවසීමක්, වීර්‍යයක්, පිළිවෙත් පිරීමක් තියෙන්ට ඕනද කියලා අපේ බුදු හාමුදුරුවෝ පෙරුම් පුරපු කාලයෙන්ම හිතා ගත්තහැකි නේ. බුදු කෙනෙක් ඉහත කියූ පාරමිතා කොටස් 30 ම සම්පූර්ණ කළ යුතුයි. අපේ ගෞතම බුදු හාමුදුරුවෝ පාරමී පුරලා තියෙන්නේ කෙනෙකුට බුදු වෙන්ට  අවම වශයෙන් පෙරුම් පිරිය යුතු කාලයක්.  ඒ අපේ බුදු හාමුදුරුවෝ ප්‍රඥා අධික බුදුන් වහන්සේ නමක් හිංදා. තව ඉන්නවානේ ඔය වීර්‍ය අධික ආදී වශයෙන් එක එක දක්ෂතා ප්‍රමුඛ කරගෙන බුදු වෙන බුදු වරු. උන්වහන්සේලාට ඊටත් වැඩිය කාලයක් පෙරුම් පුරන්ට වෙන වෙලාවල් තියෙනවලු. බුදු වෙන එක මොන තරම් අමාරු දෙයක්ද කියලා  ඉතිං මොනවට කියනවාද?


පසේ බුද්ධත්වය ගැන ඉතිං අපි වැඩිය කරුණු අහලා නෑ නොවැ. ඒත් මෙන්න මේ ටික නං අහලා තියෙනවා. බුදු කෙනෙකුන්ට වගේම ගුරු උපදේශ රහිතව, ඒ කියන්නේ තමන්ගේම උත්සාහයෙන් මේ බෝධියට පත් වෙන්ට පුළුවං. ඒත් මේ පසේ බුදු වරුන් පසේ බුද්ධත්වයෙන් පසුව ජීවත් වන්නේ හුදකලාවමයි. පසේ බුද්ධත්වය ලබන්ටත් අර ඉස්සෙල්ලා කියපු පාරමී, උප පාරමී කියන පාරමිතා කොටස් විස්ස සම්පූර්ණ කරන්ටම වෙනවා. මේ පෙරුම් පිරිල්ලට ගතවන අවම කාලය අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් කියලයි කියන්නේ. 


මහ රහත් කියන්නේ ලොවුතුරා බුදුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට නිවන් අවබෝධය ලබා ගන්න උතුම් තත්වයක්. මේකත් ලේසි පහසු වැඩක් එහෙම නෙවෙයි. පාරමී කියන පාරමිතා අනු කොටස් දහය සම්පූර්ණ කිරීමෙන් මේ තත්වයට එන්න පුළුවන්. ඒත් ඒ සඳහා අවම වශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වත් ගත වෙනවලු.


ඉතිං කෙටි පාරවල් වලින් නිවන් අවබෝධය කරන්ට වෙහෙසෙන්නේ නැතිව දැහැමින් සෙමෙන් සිත පහදවා ගෙන කටයුතු කිරීමෙන් හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්නට අපි ලෑස්ති වෙන්ට ඕනි. මේක දිගු කාලීන සැලැස්මක එක්තරා අදියරක් මිසක එක හීනයෙන් එළිවෙන රැයක් නොවන බව අපි තේරුම් ගන්ටම ඕනි...


අදහසක් ඇත්නම් කියලම යන්ට හොඳේ....

14 comments:

  1. ගොඩක් වටින ලිපියක්. බොහොම ස්තුතියි මේ දේවල් වලට.

    ReplyDelete
  2. රහත් වෙලා නිවන් දකින්න නියමිත ගතවන නිශ්චිත කාලයක් දක්වල නෑලු. ඒකට හේතුව රහත් වෙලා නිවන් දකින්නනම් පාරමිතා සම්පූර්ණ කළත් බුදුවරයෙක් පහළ වෙනතුරුම සසර සැරිසරන්න වීම.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. මේක වැදගත් දැනුවත් කිරීමක්. අපි හැම කෙනෙක්ම යම් කාලයකදී මේ තත්ත්වයට පැමිණෙන්න නම් දැන්මම උත්සාහ ගත යුතුයි. ඒකට ගතවන කාලය ගැන සිතීමෙන් ඵලක් නැහැ. චානක අරුනගේ කථාව හරි. ඒත් නිවන් දකින්න අපිට පුලුවන්. අවශ්‍ය උත්සාහයයි. වෙන දේ ගැන සිතන් නැතුව කලයුතු දේ ගැන පමණක් සිතීමෙන් මේ අවස්ථාව ලැබීමට හැකිවෙයි. ඒ ගැන දැනුවත් කල ඔබට පිං.

    ReplyDelete
  4. @මධුරංග
    බොහොම ස්තුතියි අදහස් දක්වලා මාව දිරිමත් කළාට.

    @Chanaka Aruna Munasinghe
    සමා වෙන්න අරුණ, එක පාරටම මට ඔබේ අදහස වැටහුණේ නෑ. ඔබ කියූ දෙය නිවැරදියි. මහ රහත් භාවය ලබන්න පුළුවං බුද්ධ ශාසනයක් පවතින කාලෙක තමයි. ඒත් මං ඉහත දක්වලා තියෙන්නේ ගතවෙන අවම කාලය මිසක් හරියටම ගතවෙන කාලය නෙවෙයි. එය බෝධීන් තුනටම පොදුයි. බොහොම ස්තුතියි වටිනා අදහසට...

    ReplyDelete
  5. @වෙදනා
    හරියටම හරි. අගනා අදහසට බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete
  6. පාරමී කියන සංකල්පය ගැන ඒතරම් විස්තර ථෙරවාදයේ නෑ. මහායාන ධර්මයේ නම් සෑහෙන්න තොරතුරු තියන බව පේනවා. අනිත් කාරණේ මහායානයෙ පාරමිතා හයක් ගැනයි කියවෙන්නෙ. විකිපීඩියාවෙ තියන විස්තර බලන්න.

    අරහත් බෝධිය සඳහා කාල නියමයක් සඳහන් වෙන්නෙ නෑ නේද? ඒ වගේම පච්චෙක බෝධියට ප්‍රමාණවත් පිලිවෙත් පිරුනාම අරහත් බෝධියට තවත් කල් යනවා වැඩි නම් එතනින්ම එගොඩ වෙන උත්තමයො වෙන්නත් පුළුවං.

    ඕවාගේ කාරණා ගැන අපිට හිතන්න අමාරු. පුළුවං වැඩටික කොරන්න උත්සහවත් වෙන එකයි තියන්නෙ.

    ReplyDelete
  7. බ්ලොග් අවකාසේ මේ වගේ කරුණක් ගැන ලිවීමට චතුර උත්සුක වීම අගය කරනවා. අර පොඩි ගමයා කිව්වා වගේ පාරමිතා වලට ලොකු ප්‍රමුඛත්වයක් දෙන්නේ මහා යානය. කොහොම උනත් නිවන කියන්නෙ කල් දැමිය යුතු දෙයක් නොවන බවයි මගේ හැගීම.

    ReplyDelete
  8. @පොඩි ගමයා
    මේ පැත්තේ ඇවිත් කමෙන්ටුවක් දැම්මාට බොහොම ස්තුතියි. පාරමී කියන එක ගැන මීට වඩා විස්තරයක් අවශ්‍යත් නෑ මයෙ හිතේ.... මං පාරමිතා යන්නට දාලා තියෙන ලින්ක් එකට ගියොත් ඒකේ අන්තිම පේලියේ අරහත් භාවය සඳහා පෙරුම් පුරන්න ගතවෙන අවම කාලය ගැන සඳහනක් තියෙනවා. කොහොම වුණත් මං මතක් කරන්න උත්සාහ කළේ පුරුද්දක් විදිහට සද්ධර්මය පිලිපදිනවා හැරුණු කොට, එක පාරට සුළු කාලයකින් විභාග සමත් වෙනවා වගේ ක්‍රෑම දාලා නැත්නං ගිරවා දාලා ගොඩදාගන්න පුළුවං විභාගයක් නෙවෙයි මේක කියන එක.
    <"පච්චෙක බෝධියට ප්‍රමාණවත් පිලිවෙත් පිරුනාම අරහත් බෝධියට තවත් කල් යනවා වැඩි නම් එතනින්ම එගොඩ වෙන උත්තමයො වෙන්නත් පුළුවං.">
    ඔව් ඉතිං මහ රහත් භාවයට වඩා අමාරුයි නේද පසේ බුදු බව ලබන්න?

    ReplyDelete
  9. @පොත් ගුල්ලා
    බොහොම ස්තුතියි අදහසට. හිස ගිනිගත්තෙකු එ ගිණි නිවන ලෙස ධර්මයේ හැසිරෙන්ට පුළුවන් නං පංකාදුයි... අපි උත්සාහ කරමු.. උත්සාහ කරණකොට කොයිකත් ටික ටික පුරුදු වෙනවා....

    ReplyDelete
  10. ඔව් අමාරු වගේ තමා පේන්නෙ. නමුත් තමුන්නාන්සෙ අහල තියනවාද කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේගේ ශාසනයේ දීර්ඝකාලයක් ගතපච්චාගතවත පුරල ගෞතම භාග්‍යවතුන්වහන්සේ පහලවෙන්නට කලිං පසේබුදුබවට පත්වුණු රජතුමාගෙ කතාව අපේ බණපොත්වල තියනවා. ඒ කතාවෙන් මට තේරුණේ පිලිවෙත හරියට පිරුවත් මුල් සාසනේ මගපල ලබන්න පුළුවන් තත්ත්වයක් නොතිබුණාය කියන එකයි. නමුත් ඒ බුද්ධාන්තරය ඇතුලත වැඩිවෙහෙසක් නැතිව වැඩි කාලයක් නොයාම ඒ හැකියාව ලැබුණා. ඒක මම තේරුම් ගත්තෙ නිශ්චිතවම කාලයක් පනවන්න බෑ කියන එකයි.(පාරමිතාවලිනුත් ඕක පැහැදිලිකරන්න පුළුවං ඇති) අකාලිකයි නොවැ මේ ධර්මය පිලිවෙත සම්පූර්ණ කළාද එවෙලෙම ප්‍රතිඵලය තියනවා. කොහොමවුනත් ලොවුතුරා බුදු වෙන්න නම් ඉතින් සෑහෙන්න කුසලයක් ඕන බව පේනවා.

    චතුරංග මහත්තයගේ අඩවියෙ තේමාව පොඩ්ඩක් වෙනක් කලානං හොඳයි.

    ReplyDelete
  11. @පොඩිගමයා
    මං අමාරුයි කියලා කිව්වේ හේතු කීපයක් උඩ.

    1. පසේ බුදු කමට පාරමිතා කොටස් 20යි. මහ රහත් කමට පාරමිතා කොටස් 10යි
    2. පසේ බුදු වරයා ගුරු උපදේශ රහිතව නිර්වාණාවබෝධය ලබයි. මහරතන් වහන්සේ ගුරු උපදේශ සහිතව නිර්වාණාවබෝධය ලබයි.

    ඔබ කියන ගැටළුව ඇති වන්නේ බුද්ධ ශාසනයක් නොමැතිව බොහෝ කලක් පැවතියහොත් අරහත් බව ලබා නිවන් අවබෝධ කරගන්නට පසේ බුදු බව ලැබීමට වඩා කාලයක් ගත විය හැකි බවයි. එය නිවැරදියි.

    කොහොමටත් ඔය කාල වකවානු ගැන හිතන එක මහ පොලොවේ වැලි කැට ගණන් කරණවාට වඩා අමාරුයි වගේම කාලය නාස්ති කරණ වැඩක් නේද?

    ඔබතුමා චතුරංග කිව්වේ මට නං, මගේ නම චතුර.
    තේමාව වෙනස් කරන්න අවශ්‍ය හේතුවත්, සුදුසු නමකුත් කියන්න පුළුවන්නං වගේම වෙනස් කරන්න මේ අඩවියෙන් ඉඩ දෙනවා නම් මගේ අකමැත්තක් නෑ වෙනස් කරන්න. ඒ හින්දා ඔබේ යෝජනාව කරන්න...

    ReplyDelete
  12. මෙහෙමයි චතුර මහත්තයා මට තේරෙන විදියට පාරමිතා වර්ගීකරණයේ පච්චෙක බෝධිය පිළිබඳ පේන්න තියන චිත්‍රය විවිධ බණ කතාවල ඒ බෝධිය පිළිබඳව තියන අදහසුත් එක්ක ඒතරම් ගැලපෙන්නෙ නෑ.

    පාරමිතා කතාවට අනුව සහ අර කලින් ලිපිය අනුවත් පේන්නෙ පච්චෙක බෝධියට පිරියයුතු පිළිවෙත අරිහත් බෝධිය වගේ දෙගුණයක් විතර වෙන බවයි. නමුත් අර බඹදත් රජතුමාගෙ කතාවෙන් කියවෙන්නෙ වෙනත් දෙයක්. ඊළඟට තවත් කතාවක් තියනවා පසේ බුදුවරු පහල වෙන්නෙ ලොවුතුරා බුදුවරු පහලවෙන කල්පවලදි විතරය කියල. ඒ කතාවත් මුල එක වගේ නොගැලපීමක් තියනවා. ඔය වගේ මං දන්න කියන කතා සහ පුබ්බයෝගාවචර සූත්‍රයත් (චන්දවිමල ස්වාමීන්වහන්සේගෙ පාරමිතා ප්‍රකරණය බලන්න ) එකට අරං කල්පනා කළාම හිතුණෙ පච්චෙක බෝධියෙන් එතෙර වෙන්නෙ බුද්ධසාසනයක් තුල සෑහෙන්ඩ තරම් පිළිවෙත් පුරල මොකක් හරි හේතුවකින්(අහේතුවකින්) මගපල ලබන්න බැරිවුණු උතුමන්ය කියල.

    තථාගතයන්වහන්සේගෙ දේශනාවලත් මේ බෝධිය ගැන වැඩිවිස්තරයක් නෑ වගෙයි පේන්නෙ. කොහොම උණත් මම බණ දහම් පිළිබඳ ලොකු උගතෙක්වත් ගැඹුරට හිත දියුණු කළ කෙනෙක්වත් නොවන නිසා පාරමිතා වර්ගීකරණය සංශෝධනය කරන්න ඕනය කියල කියන්න යන්නෙ නෑ.

    ඔබතුමාගෙ නම කලින් වතාවෙ පොඩ්ඩක් වැරදුනා. තේමාව වෙනස් කරන්නය කියල කිවුවෙ සමහර සබැඳි ආදිය මේ තේමාවෙන් වෙන්කර දක්වනවා මදි නිසයි. මම පයර්පොක්ස්ගෙන් බලද්දි නොපෙනී යනවා.

    ReplyDelete
  13. @පොඩිගමයා
    අර රජතුමාගේ කතාව මං අහලා තියෙනවා. ඒ කතාව හරියට හිතලා බැලුවොත් තේරෙනවා එතුමා ඊට කලිං භවයෙදි (කාෂ්‍යප බුදු හාමුදුරුවංගේ කාලෙදි පුරුදු කළ 'ගත පච්චාගත' නම් වෘත්තය නිසා මේ භවයේදීත් ඕනෑම සෙනඟක් මැද්දේ භාවනාවකට සමවැදීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම ඒ රජතුමා භාවනාව ප්‍රගුණ කරන්න අවශ්‍ය නිසා ඇමතියෙකුට වගකීම් පවරලා පවා ඉඳලා තියෙනවා. ඒ හින්දා එතුමා නිවන් අවබෝධ කළේ ලේසියෙන් නොවේ. ඉතාම උනන්දුවෙන් යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරලා තමයි පසේ බුද්ධත්වයට පත්වුණා කියන්නේ.

    ඒ හින්දා මට නං ඔය පාරමිතා වර්ගීකරණයේ වරදක් පේන්නේ නෑ.

    බුද්ධ ශූන්‍ය කල්ප වලදී පසේ බුදු වරයන් පහල නොවෙන කතාව පරස්පර විරෝධී නෑ. පසේ බුදුවරයන් පහල වෙන්නේ බුද්ධ කල්ප වල එහෙත් බුදු කෙනෙකුන් පහළ වීමට පෙර කියලයි සඳහන් වෙන්නේ.

    * මට හිතෙන්නේ ඔබ තුමා තේමාව යන්නෙන් අදහස් කරලා තියෙන්නේ Theme එක. සමා වෙන්න මං පොඩි පර්යේෂණයකටත් එක්කයි ඔය කළු පසුබිම යෙදුවේ. ඔන්න ඒක වෙනස් කළා...

    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. ඔබේ සාරවත් අදහස් මේ ලිපියට ආලෝකයක් එක් කළා කියලා මං විශ්වාස කරණවා...

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට