නිදුක් බලන කට්ටිය

2011/12/09

කාමයේ වරදවා හැසිරීම..

මේක හරි කුතුහලය දනවන වචන පෙළක් වෙලා තිබුණා කාලයක්.. පස්සේ ඔය වචන ටික නුරුස්සන ගතියක් ඇති කරන වචන ටිකක් බවට පත් වුණා.. දැං ආයෙමත් පොඩි කුතුහලයක් ඇති වෙලා...

පුංචිම කාලෙ තේරුණේ නෑ මොකක්ද ඔය හරුපෙ කියලා.. කවුරුත් කියලා දුන්නෙත් නෑ නොවැ.

ටිකක් ලොකු වෙනකොට කට්ටිය කිවුවා තමන් බැඳපු කෙනාත් එක්ක හැර වෙනත් අයත් එක්ක ඔය ඕනන්නෙ නැති ඒවා කරණ එකටලු එහෙම කියන්නේ කියලා..



ඊටත් පස්සේ ඉගෙන ගත්තා අලුත් වචන ටිකක්..

ඒ තමයි "පරදාර සේවනය" . ඉතිං කලිං දන්න තරමයි මේ වචනේ විග්‍රහයයි එකතු කරලා බැලුවහම හිතුණා පරදාර සේවනය තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ කියලා.. ඉතිං අපි ඕවට එකෙන්ම විරුද්ධයි නොවැ.. ඉතිං කාමයේ වරදවා හැසිරෙනවා කිවුවහම කොයි තරම් නරක වැඩක්ද කියලා නුරුස්සන ගතියක් ඇති වුණා..

තව තව දේවල් ඔලුවට වැටෙනකොට මට ආයෙමත් ඇති වුණේ කුතුහලයක්.. කාමය කියලා කියන්නේ ලිංගික එක්වීමක් නෙවෙයි කියලා මට වැටහුණා..

කාම වස්තූන් (කාමුක වස්තූන් නෙවෙයි) එක්ක තියෙන ගනු දෙනු නැත්නම් හැසිරීම් තමයි ඔය කාමයේ හැසිරීම කියන්නේ.. ඉතිං ඔය කාම වස්තූන් එක්ක වැරදි හැසිරීම් තියාගන්න එක තමයි කාමය වරදවා හැසිරීම කියන්නේ.. ඉතිං අපි කොයි තරං කාමයේ වැරදියට හැසිරිලා තියෙනවද කියලා දැන් මට හිතෙනවා.. තාමත් දවසකට කී පාරක් කාමයේ වරදවා හැසිරෙනවාද? (දැං මූ මෙතන බණ කියන්න ආවට මහ අපතයෙක් කියලා මට බණින්ට එහෙම ලෑස්ති වෙන්ට එපා ඕං..)

කාම වස්තූන් කියන්නේ මොනවාද?

කම් සැප විඳිම සඳහා අපව පොළඹවන දෑ.. මං පොඩි ලිස්ට් එකක් කියන්නද?
1. අපේ දෙමවුපියෝ

2. අපේ ළමයි
3. මගේ බිරිඳ ඇතුළු  මං ආදරය කරණ හැමෝම
4. මගේ ඇඳුම් පැළැඳුම්
5. අපේ ගෙදර, වාහන සහ ගෙදර බඩු මුට්ටු.

තව කොයිතරම් දේ තියෙනවද?


කාම භෝගී ගිහියෝ කියලා අපිව හඳුන්වන්නේ අපි කාම වස්තූන් පරිහරණය කරන්න මහත් කැමැත්තක් ඇල්මක් ඇති උදවිය නිසා..

මේ කාම වස්තූන් වුණත් ගානට මිම්මට හා නිසි පරිදි පරිහරණය කළොත් ඕක වරදවා හැසිරීමක් වෙන්නේ නෑ... ඒත් අපි දෙමවුපියන්ට කොයි තරම් බැඳිලා ඉන්නවද.. ? එහෙම බැඳෙන්න බැඳෙන්න වැරදි පැත්තටයි යන්නේ.. අපි දෙමවුපියන්ට විරුද්ධව හෝ වෛරීව කටයුතු කරනවාද? එහෙම කරනකොටත් වැරදි පැත්තටයි යන්නේ... අපි දෙවැනි කාරනේ වැරැද්දක් ලෙස දැක්කත් පළමු එක හොඳයි කියලනේ දකින්නේ.. අපි දෙමවුපියන්ට අපේ යුතුකම් හා වගකීම් ටික ඉටු කරන්න ඕන කැපවීමෙන් හැම විටම.. එහෙම නැතුව මළා ට පස්සේ මහ හයියෙන් අඬලා මොටෝ.. සංවේදී කමට ටිකක් හැඬෙන එක නෙවෙයි මං කියන්නේ.. ලෝකෙට පේන්න අඬන එක..

මේ කාරණේ මෙනෙහි කළොත් අපිට අපේ ජීවිතේ පුදුමාකාර වෙනසක් කරන්න පුළුවන්.. එකෙන්ම..!
මොකද කියන්නේ.. කාමයේ වරදවා නොහැසිරෙන්න උත්සාහ කරමුද? මෙහෙම බැලුවොත් වැඩිපුරම කඩන සිල්පදේ මේකයි..


ප.ලි



බ්‍රහ්මචාරීව වෙසෙන එක මේ සිල්පදේ රකින එකත් එක්ක බැලුවහම සෑහෙන්න වෙනස් දෙයක්... ඒක  වෙනම කතා කරමු.

මේ තනිකර මගේ අදහස්.. මං කොහේ වත් ධර්ම දේශනාවක අහලා නෑ මෙහෙම..

ඔයාලා මොකද මේ ගැන හිතන්නේ කියන එක නම් පුදුමාකාර විදිහට වැදගත්..

19 comments:

  1. කුරුම්නියාDecember 10, 2011 at 1:49 AM

    නොසිතුන පැත්තක්...

    කුරුම්නියා..

    ReplyDelete
  2. ස්තුතියි මිත්‍රයා.. නොසිතුන පැත්තක් කියලා විතරමද හිතුනේ...?

    ReplyDelete
  3. මට නං නිකං අවුල් වගේ කියලා තියන දේවල් ........

    ReplyDelete
  4. මම සත්‍යය තේරුම් අරගෙන කියලා මම කියනවා එහෙම නෙවෙයි. ඒත් කල්හාර කාම වස්තූන් කියන එකේ අර්ථ විග්‍රහය සමඟ මේක සසඳලා බැලුවාම මට හිතෙනවා මං හිතපු දේට පදනමක් තියෙනවා කියලා..

    අපි බුදු දහමේ හුඟක් දේවල් ලඝු කරගෙන ඉන්නවා කියලා මට හිතෙනවා.. ඒවා ආපහු දිග අරින්න තමයි මේ වෑයම..

    ඔයාට අවුල් තැන මෙතැන දැම්මා නම් සංවාදයක්ට යන්න තිබුණා...

    ReplyDelete
  5. මමත් මේ කියන්නෙ බණකට අහපු දෙයක් නෙවේ මට‍ හිතෙන දේ
    ඔයාගෙ අදහස හොදයි
    ඒත් ම‍ට හිතෙනවා ඔචිචර ගැඹුරට නොයා අඹු සැමියන් එකිනෙකාට ලිංගික වශයෙන් ද්රෝ‍හි නොවීම කියන තැන නැවතුනොත් ඇති නේද කියලා.

    ReplyDelete
  6. චතුර විජේකෝන්February 9, 2012 at 9:43 PM

    ඔවු.. ඔවු.. ඒකවත් රකිනවානම් මදෑ.. නේද? ඇත්තටම මං කියපු කාරනේ අදාල නැති එකක් වෙන්ටත් පුළුවන්.. හැබැයි ඔය කියන තැනින් ඔබ්බට ගියා කියලා නරකක් නං වෙන්නේ නෑ.. හොඳක් මිසක්..

    ReplyDelete
  7. තමන්ට හිතෙන හැටියට ධර්මය වෙනස් කරන්න එපා.
    ඒක වැරදියි,
    ඔයා කියල තියන ඒවා සම්පූර්ණයෙන්ම දහමට එකඟ නෑ,
    කාටවත් නොඇලීම හොඳයි,
    ඒත් බුදු රජාණන් වහන්සේ හරියට දශමෙට විග්‍රහ කරල තියන දේවල් වලට තමන්ට හිතෙන හිතෙන විදිහට අර්ථකථන දීම නිසාමයි මේ සසුන විනාශ වෙන්නෙ,
    ඒක විශාල පවක්,

    පස්වන පණ්ණාසකය

    22. සාමඤ්ඤ වර්‍ගය

    11. දසසුගති දුග්ගති ධම්ම සූත්‍රය

    1. ´´මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ තැනැත්තා ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

    2. කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, තද ලෝබකම ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිසදිටු වේද, මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

    3. ´´මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ තැනැත්තා ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් ස්වර්‍ගයෙහි වේ.

    4. ´´කවර දශයකින්ද යත්? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. ´´නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ´´එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය´´ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්Ȁdධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ´මට වන්නේ නම් යහපතැ´ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ ස්වර්‍ගයෙහි වේ.´´

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න.. අදහසක් ලෙස මට දැනෙන දේ දැක්වූවා මිස මා නිවැරදි යැයි මා කීවේ නෑ.. කාමයේ වරදා නොහැසිරෙමි යන සිල් පදය මා මෙහිදී ඉක්මවා ගිය බවක් බැලූ බැල්මටම පෙනෙනවා.. ඒත් මා බුදු දහම ඉක්මවා ගොස් නෑ.. බුදු දහමේ කාම වස්තූන් කෙරෙහි නො ඇලෙන ලෙස, නොගැටෙන ලෙස හෙවත් වැරදි පරිහරණය නොකරන ලෙස දක්වා තිබෙනවා.. පස්පවු යන්න බුදු දහමෙන් පරිබාහිරවත් පවතින නිසා ඔබ පවතින සීමාවේ නවතින්නට ඇති යැයි විශ්වාස කරන්ට පුළුවන්..

      මා එය අලුත් මානයකින් සිතන්නට උත්සාහ කිරීමටත් වඩා එය හැම හා බෙදා ගැනීමට උත්සාහ කිරීම ගැන කණගාටු වෙනවා..

      මගේ ලිපි වල යම් වරදක් ඇත්නම්.. මෙලෙස පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.. ඔබට පිං..!

      Delete
    2. මම කලින් කමෙන්ට් කළ වගක් දුටුවෙ නෑ,
      හදිසියේ දැක නැවත් කමෙන්ට් කරේ,
      අදහස් පිළිගැනීම ගැන සතුටු වෙමි.
      අළුත් මානයකින් හිතීම හොඳයි,
      එහෙත් එය වැරදී නම් බෙදාගැනීමෙන් සිදු වන්නේ තවත් බොහෝ දෙනෙක් ඒ මතයට ඒමමයි නේද?
      ශ්‍රාවකයා කියන්නේ මෙහෙමයි,
      "භගවා ජානාති අහං නජානාමි"
      "භාග්‍යවතුන්වහන්සේ දන්නා සේක, මම වනාහි නොදන්නෙමි"
      ඊළඟට ශ්‍රද්ධාව කියන්නෙ මොකද්ද?
      "සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධිං"
      තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම.
      ඉතින් මේ දේ දන්න කෙනා තථාගතයන් වහන්සේ යමක් කියා ඇත්ද එය වෙනස් කරන යන්නෙ නෑ.
      ඔහු එය පිළිගන්නවා.
      එපමණකින් අවබෝධය ඇති වෙන්නෙ නෑ.
      ඒත් එයයි මුල.
      බුදු රජාණන් වහන්සේ පන්සිල් ගිහියාට පනවූ එක ගැන වුනත් දකින්න තියන්නේ එහෙමයි,
      උන්වහන්සේයි සියල්ල දන්නේ අපි දන්නෙ නෑ.
      ඇලීම හා ගැටීම වැලකීම සිල්පදයට අන්තර්ගත නෑ,
      ඒ ගුණ නැති වන්නේ දහම් මග යෑමෙන්මයි,
      අනිත්‍යය, දුක, අනාත්මය දැකීමෙන්.
      මේ ශීලයට අයත් නැති ඒවාගෙනුත් ශ්‍රාවකයාට වලකින්න පුළුවන්,
      කේලාම් කීම, හිස් වචන, ඕපාදූප, කුණුහරුප කීම මේවගෙන් වලකිනවා,
      එයයි ඔහුගේ සම්මාවාචා වෙන්නේ,
      මෙලෙස සියළු අකුසල් බැහැර කිරීමේ මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
      ඒ නිසා මුලින් කියා තියන දේ කරන්න,
      පසුව දහමේ ඉදිරියට යන විට ඕනෑ තරම් කරුණු තියෙයි,
      කරන්න ඕන දේ තියෙයි,
      අපිට අළුතින් ඒවා කියන්න ඕන නෑ.
      එහෙමයි දහම් මගේ හික්මෙන්නේ.
      සූත්‍රම කියවන්න,
      එවිට නිවැරදි දහම හමු වෙයි.
      ඔබට තෙරුවන් සරණයි!

      Delete
    3. තථාගතයන් වහන්සේ සියල්ල දන්නා බව මගේත් විශ්වාසයයි.. ඒත් අවාසනාවකට තථාගතයන් වහන්සේ අප අතර නැහැ... උන්වහන්සේ දෙසූ දහමත් ඒ ලෙසින්ම තිබෙනවාය කියා විශ්වාස කළ හැකි ද?

      අනෙක් කාරණය දැනට තියෙන විදිහට ඇතැම් සරල කරුණු බොහොම බැරෑරුම් විදිහට තියෙන නිසා බොහෝ දෙනා බොදු පිළිවෙත් රැකීම ගැන තියෙන්නේ ටිකක් පසුගාමී අදහස්.. මා උත්සාහ කළේ මේ ක්‍රමයේ යම් වෙනසක් ඇති කරමින් කතිකාවතක් ගොඩනගන්න නමුත් ඒක සාර්ථක නෑ.. මට බුදු දහම වෙනස් කරන්න ඕන නෑ.. ඒත් අයාලේ යන සමාජයට යමක් වටහා දෙන්නටයි අවශ්‍යව තිබුණේ.. එහෙත් එවැනි දේ කිරීමට ඔබ වැන්නන් සිටින බැවින් මම මා ගැන බලා ගැනීම ප්‍රමාණවත් බව අදහස් කරමි.. මින් මතු මෙහි කිසිදු ලිපියක් පළ නොවනු ඇත..

      වරදක් වී නම් සමාවන්න...

      Delete
    4. ඇත්තෙන්ම ඔබේ උත්සාහයට අකුල් හෙලීමා නොවේ මට අවශ්‍යය වුනේ,
      එය නිසි ලෙස නොවුනොත් වෙන හානිය පෙන්වා දීමටයි.
      ඔබේ උත්සාහය ඉතාමත් වටිනවා,
      දැන් කාලේ මිනිසුන් දහම ගැන නිකමට හෝ කතා නොකරන යුගයක එය කතා කිරීමට සිතීමම කොතරම් දෙයක් ද?
      මිනිසුන් අතර තියන්නේ ඉතාම පසුගාමී අදහස් තමා,
      ඒක කාගේවත් වරද නෙවේ,
      අප හැමෝටම "අනේ භාග්‍යවතුන් වහන්සේ සිටියා නම්" කියල හිතෙනවානේ,
      ඔබේ කාර්යය දිගටම කරගෙන යන්න.
      මගේ වචන වලින් හිත් රිදීමක් වුනා නම් මා ඉතාම කණගාටු වෙනවා,
      මට එයට සමාවෙන්න,
      මේ දේ එක පුද්ගලයෙක්ට තනිව කරන්න බෑ,
      එයට බොහෝ දෙනෙක්ගේ උදව් අව්ශ්‍යයයි.
      කරුණාකර ඔබත් නැවත ලිපි ලියන්න.
      අප සියළු දෙනා අතින්ම වැරදි වෙන්න පුළුවන්,
      මා කළ වරදක් වේ නම් සමාව දෙන්න,
      නැවත ලිපි ලියන්න,
      ඒත් ඔබේ අර්ථකථන නම් දෙන්න එපා,
      ඒ සඳහා ත්‍රිපිටකය පරිහරණය කරන්න.
      ඔබත් දහම පුරුදු කරන්න.
      ත්‍රිපිටකය මෙතනින් ලබාගන්න,
      http://www.metta.lk/
      මෙම software 1මගින් ඔබට ත්‍රිපිටකයේ ඇති සියල්ල සොයාගන්න පුළුවන්,
      http://dhammamedicine.info/TipitakaSearch/
      මේ ඉතාම වටිනා දෙයක්,
      ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.
      ඔබට තෙරුවන් සරණයි!

      Delete
    5. භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ඒ ලෙසින්ම තියනවා,
      ඒ ගැන සැක කරන්න එපා,
      සරළ කරුණු බැරෑරුම් ලෙස පෙනෙන අවස්ථා තියනවා,
      ඒ පරිවර්තනය කර ඇති පිළිවෙල නිසායි,
      එසේම ධර්මය යනු සැබැවින්ම ගැඹුරු දෙයක් තමා,
      එය තේරුම් ගැනීම අපහසු වීම අරුමයක් නෙවේ,

      Delete
    6. පළමු කාරණය.. මම ඔබ ගැන කිසිදු අහිතක් නැත.. ඔබ මට පෙන්වා දුන් වැදගත්ම දෙය නම්, ධර්මය ගැන මගේ අර්ථකතන දීම නුසුදුසු බවයි..

      මට තිබෙන කාලයත්, මගේ බුද්ධියේ ප්‍රමාණයත් අනුව මම බුදු දහම ගැන යම් අවබෝධයක් ලබමින් සිටිමි.. එම අවබෝධය තුළින් මා ඉගෙන ගත් දෙයක් නම්, අවබෝධයෙහි පරිණත වීමට නම් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බවයි. අප ගැනත්, චේතනා ගැනත් නිරන්තරයෙන් කල්පනා කළ යුතු බවයි.. ඒ ගැන මෙනෙහි කළ යුතු බවයි..

      මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන මතු දිනක පරිපූර්ණ වූ අවබෝධයක් ලැබුවහොත් මිසක මෙහි හැම දෙනා හා බෙදා හදා ගැනීම උදෙසා නොලියන්නට තීරණය කළෙමි..

      ඔබ මට කිසිදු වරදක් කළේ නැත.. සැබැවින්ම ධර්මය පිළිබඳ අර්ථකතන දීම සුදුසු නැත.. මා කළ වරද ගැන බෙහෙවින් පසු තැවෙමි.. ඔබ ලබා දුන් දිගු කියවීමට බලාපොරොත්තු වෙමි.. ස්තුතියි..!

      Delete
    7. පසුතැවීම සුදුසු නැත,
      ඔබ සතුටු වෙන්න,
      ඔබට ලැබුනේ ලොකු ලාභයකි,
      රටේ ප්‍රසිද්ධ වූ ගිහි පැවිදි අය පවා ධර්මය විකෘති කර නිරයගාමි අකුසල් කරන විට ඔබ එයින් මිදීමම කොතරම් භාග්‍යයක්ද?
      සමහර භික්ෂූන් වහන්සේලා පවා දහම විකෘති කරන කල අපි මිදී සිටීම ඒකාන්තයෙන්ම භාග්‍යයකි.
      දහම ගැන අවබෝධය නිතර ලබන්න,
      ඒ සඳා ඕනෑ තරම් දහම හොයාගන්නට ඇත,
      කිරීමට ඇත්තෙ එය අපේ ජීවිත වලට ගැනීමයි.
      ඒත් අපි අඩුවෙන්ම කරන්නේත් එයඉ.
      ඔබ පරිපූර්ණ අවබෝධයක් ලැබෙනකන් හිටියොත් ලියන්න බැරි වෙයි,
      ඒ නිසා හොඳ අවබෝධයක් ලබාගෙන සූත්‍ර වල අන්ත්‍රගත දේම ගලපා ලියන්න,
      එවිට ඔබටත් ධරමදානය දිය හැක,
      එහෙත් මේ අන්තර්ජාලය නම් ඇත්තෙන්ම එය කිරීමට අසීරු තැනක් වී ඇත,
      එයට හේතුව මෙහි විවිධ මතවාඩ ගොඩක් පිරී තිබීමය.
      අනික මේ අන්තර්ජාලය යනු පිරිසිඳු තැනක් නොවීමය.
      බණ කියවන්න අහන්න එයට එන්නේ සීමිත පිරිසකි,
      අනික් අයට එහෙම ඕනෑ කමක් නැත,
      ඒත් ඔවුන් කතා කරනෙ බුදු සමිඳුන්ටත් වඩා ඉහලින් දන්නා විදිහටය,
      එක්කො කවුරුන් හෝ භ්කිෂුවක් සරණ ගොස් ඒ අනුව කාකොටාගනී.
      ඒ නිසා හොඳම දේ නම් පාඩුවේ ඉඳන් හොර රහසේම මාර්ගය වැඩීමය්.
      සමහර විට අපි බෙදන්නේ දහම වුවත් එයින්ද මාන්නය ඉපදේ,
      අපේ හිතේ සොබාවය එයයි.
      ඒ නිසා පසුතැවිලි නොවන්න,
      එයද අකුසලයකි,
      එයින් දහම් මගට වෙන උපකාරයක් නැත.
      ඔබට පුළුවන් නම් ඔබේ එඊමේල් ලිපිනය මට දෙන්න.
      ඔබව හඳුනා ගැනීම සතුටකි.
      තෙරුවන් සරණයි!
      truefaresl@gmail.com

      Delete
    8. සත්තකින්ම.. පසු තැවීම අකුසලයකි.. කලාතුරකින් ජීවිතයේ පසු ගිය දෑ ගැන පසු තැවෙමි.. එහෙත් ඒ අත්දැකීමක් කරගනිමි.. මගේ ජීවිතයේ පසුතැවීම් සදාකාලික නොවේ.. පරිපූර්ණ අවබෝධයක් නොලැබ, අවබෝධයක් ලැබුවා යැයි සිතීම නොහොඹී.. අදහසක් ඇති කර ගැනීම හා අවබෝධය අතර පැහැදිලි වෙනසක් ඇත.. සත්තකින්ම ගලන ගඟක් ආපසු හරවන්නට විශාල ශක්තියක් අවශ්‍යය. එම ශක්තිය ලැබුණු පසු මිස, කලියෙන් එයට තැත් දැරීම අනුවණ කමෙකි.. ඔබට බොහොම ස්තුතියි.. මගේ ඊ ලිපිනය..

      canwijekoon@gmail.com

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඔබ තරමක් දුරට නිවැරැදියි මිත්‍රයා. ඒක තමයි කමායේ වරදවා නොහැසිරීම කියන්නේ. නැතහොත් කාම ආස්වාදය විවාහක බිරිදට හෝ සැමියාට පමණක් සීමා කිරීම. ගිහියෙකු ලෙස ජීවත් වීමේදී විදිය හැකි කාමයන්ගේ සීමාවයි මෙම ශික්ෂා පදයෙන් දැක්වෙන්නේ.
    විවාහ නොවී ආදරවන්තයන් ලෙස ඇතැමුන් ලබන කාම ආස්වාදය කාම මිථ්‍යාචාරය බව දත යුතු.

    කාම මිථ්‍යාචාරයෙන් තොර වීම සතර ආපයට නොවැටී සිටීමට හේතුවක් වන අතර, එය සාර්ථක ලෞකික ජීවිතයක් ගත කිරීමට ඇති එකම මග බවද දත යුතු. එය සසරේ ලෞකික සැපය පිණිසම හේතුවන අතර, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සැප ලැබිමටද එය හේතුවක් බව දත යුතු.

    එසේම එය සසර ගමන දික් කර ගැනීමට ද හේතුවක් බව දත යුතු.

    කාමය ආස්වාදජනකය. එහෙත් එය මාර පාක්ෂික හෙවත් සත්වයා දුකට පත් කරන ධර්මයක් බවද දත යුතු.

    කාමය මොහොතකට ආස්වාදජනක ය. එහි ආස්වාදය මොහොතින් අනිත්‍ය වන සුුළු ය. මියෙනතුරැ ලැබුවද කාම ආස්වාදය නිමාවක් හෝ ඇතිවීමක් නොවන අතෘප්තිකර ධර්මයක් බවද දත යුතු.

    මනුෂ්‍යයන් ලෙස උපදින සත්වයන්ගෙන් අති බහුතර දෙනා සතර අපායට වැටෙන්නේ කාමය හේතුකොට ගෙන බව ද දත යුතු.

    මිනිසුන් වැඩිම උපාදාන (මගේ යැයි මනසින් අල්ලා ගැනීම) ඇති කර ගන්නේ කාමය නිසා බවද, මිනිසුන් වැඩිම අපරාධ සිදු කරන්නේ කාමය නිසා බව ද, මිනිසුන් වැඩිම අකුසල් සිදු කර ගන්නේ කාමය නිසා බවද, මිනිසුන් වැඩිම දුක් අත් කර ගන්නේ කාමය නිසා බව ද, මිනිසුන් මේ ඝෝර කටුක සංසාරයෙන් ගැල වී යාමට නොහැකිව අපමණ දුකට පත් වන්නේද කාමය නිසා බව දත යුතු.

    කාමය යනු අපගේ සිත තුළ තත්පරයෙන් දහහත් ලක්ෂයකින් එකක් (රූප කලාපයක්) තරම් කෙටි කාලයක් තුළ ඇති වී නැතිවන සිතක් උපදාන කර ගැනීම නිසා (අල්ලා ගැනීම නිසා) හට ගන්නා ලෞකික ධර්මතාවක් බවද දත යුතු.

    කාමය ද හේතුවක් නිසා හට ගන්නා ඵලයක් හෙවත් හේතුඵල ධර්මයක් බවද, එය ද අනිත්‍ය ධර්මයක් බවද දත යුතු.

    කාමය හට ගැනීමට මුල්වන හේතුව වන ලෝභය නිරෝධ කිරීමෙන්, කාමය නිසා හට ගන්නා දුක නමැති ඵලය ද නිරෝධ වන බව ද (නැති වන බව) දත යුතු.

    කාමයෙන් සම්පූර්ණයෙන් ඈත්වීම දුකින් සම්පූර්ණයෙන් ඈත් වීමක් බවද දත යුතු.

    දුක නොසොයන සැපයම සොයන ප්‍රඥාවන්තයා කාමය වැනි අනිත්‍ය සැපයක් නොසොයන බව ද, සියලු ආශ්‍රවයන්ගෙන් තොර (දුක හට ගැනීමට හේතුවන ධර්මතා) නිත්‍ය සැපයම සොයන බව ද දත යුතු.

    මේ ඝෝර කටුක සසරේ නැවත නැවත ඉපදීමට හේතුවක් වන, කාමය සම්පූර්ණයෙන් අත් හැරීමෙන්, මෙම බිහිසුණු සංසාරයෙන් ගැලවී නිර්වාණ සුවය අත් කර ගැනීමට ද හැකි වන බවද දත යුතු.

    නිර්වාණය ආශ්‍රවයන්ගෙන් තොර, අනිත්‍යාතාවද ඉක්ම වූ, අවේදයිත අපරිමිත සැපයක් බවද දත යුතු.

    සැබෑ ප්‍රඥාවන්තයා සොයන්නේ, එම නිර්වාණයම පමණක් බව ද, එම නිර්වාණ සුවය විශ්වයේ සියලු ලෞකික සැපයන් නිශේධනය කරන, භාෂාව සහ හැගීම ද ඉක්ම වූ, සියලු ලෞකික ධර්මයන් ඉක්ම වූ, උත්තරීතම සැපය බවද දත යුතු.

    මරණයෙන් කෙළවර වන ජීවිතයේ (මේ සටහන කියවමින් සිටින මොහොතේ වුවද ඔබ මරණයට පත් විය හැක. මරණය යනු එපමණ ක්ෂණික වූද, ප්‍රවේගකාරි වූද, අචින්ත්‍ය වූද, විෂයමූලික වූද ධර්මතාවකි. මරණය කිසිවෙකුට කලින් දන්වා පැමිණෙන්නේ නැත) සතත්වයාට ලැබිය හැකි එකම නිත්‍ය සැපය නිර්වාණය පමණක් බව ද දත යුතු.

    මේ කරුණු අවබෝධවීමෙන් ඔබට දහම ඇසම පහළ වේවා ! ඔබට ධර්මාවබෝධය හිමි වේව ! ඔබ ද මේ දුක්ඛිත ඝෝර කටුක සංසාරයෙන් සදහටම අත් මිදී යන ඒකායන මාර්ගයට ප්‍රවිශ්ට වේවා !!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම පිං.. ඉතා හොඳ විග්‍රහයක්..

      Delete

ඔබේ අදහස බොහො වටී මට