නිදුක් බලන කට්ටිය

2012/01/25

ද්වේශ නොකරම බැරිද?

මීට පෙර කතා කළ ස්වරූපයේ ම කාරණාවක් ගැන අදත් කතා කරන්නට සිතුවෙමි..

සතර අගති වලින් එකක් ලෙසත් අකුසල මූල වලින් එකක් ලෙසත් හැඳින්වෙන ද්වේශය අප සිතනවාට වඩා පරාසයක විහිදී ඇතැයි මට හැඟේ.. යම් දෙයකට, කෙනෙකුට හෝ ක්‍රියාවකට දක්වන විරුද්ධත්වයේ දී  ද්වේශය ඇති විය හැක.. ද්වේශයට විවිධ වෙස් ඇත.

1. පළි ගැනීමේ ස්වරූපය හෝ රළු ස්වරූපය.
යම් දෙයකට තමාගේ ඇති විරුද්ධත්වය නිසා ක්‍රෝධයෙන් ගහ මරා ගන්නට, බැණ ගන්නට යති.
2. බිය
යම් දෙයක් කෙරෙහි දක්වන බියක් ලෙස ද්වේශය පැන නඟින අවස්ථා ඇත. මේ උදාහරණය සලකමු.. අප වාහනයක් පදවාගෙන යන විට තනි ඉර කපන එක වරදක් බැවු අපි දනිමු. එහෙත් අපි අවශ්‍යතාවයක් වුවහොත් එම තනි ඉර කපා ගෙන යමු. මේ අවස්ථාවක පොලීසියෙන් සිටියොත් බියක් ඇති වේ.. එහෙත් මෙය බියක් නොව පොලිස් නිලදරුවා ඉදිරියේ දඩ කෑමට ඇති විරුද්ධත්වය බව විමසා බැලුවොත් වැටහේ.. මෙලෙස බොහෝ විට බිය යන ප්‍රතිරූපකයා ලෙසින් ද්වේශය ඇති වේ.

3. ශෝකය
හොඳ හැටි ආයුෂ විඳ මිය ගිය මවක් සලකන්න. ඇය ජීවත්ව සිටි කාලයේ වත් හරියට නොසැලකූ දූ දරුවන් ඇගේ අවසන් කටයුතු දා මහ හඬින් හඬමින් ශෝක කරයි. මෙය සැබෑවටම ශෝකය ද?  මව ජීවත්ව සිටි කාලයේ මවට සලකන්නට නොහැකි වීම ගැන තමා තුළ ම මතුවන විරුද්ධත්වය එළියට පැනීමක් ද?  මළ ගෙයකදී, යථාර්තය තේරුම් ගෙන සංවේගය ඉවසීම  නොකොට දිගින් දිගට හඬා වැටෙන්නේ තමා කෙරෙහි හෝ එම වෙන්වීම කෙරෙහි ඇති විරුද්ධත්වය නිසාමය.

මේ ආදී වශයෙන් ගත් විට, මෛත්‍රිය, ලැජ්ජාව, ගර්හාව, අල්පේඡ්ඡතාවය ආදී බොහෝ ප්‍රතිරූපක ධර්ම වෙසින් ද්වේශය මතුව එන අයුරු විමර්ශනය කළ හැක.

ද්වේශයෙන් මිදීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව දැන් පැහැදිලියි නේද?

ප.ලි
බොහෝ විට ද්වේශය ලෙස සලකන්නේ මා අංක 1න් කතා කළ කාරණයයි. එහෙත් ද්වේශයට එයිට වඩා පුළුල් අරුතක් ඇති බව පෙන්වීමටයි මා උත්සාහ කළේ..

හැමදාම වගේ සංවාදයට විවෘතයි..

4 comments:

  1. වටිනා ලිපියක්. කථා කළයුතුම මාතෘකාවක්. ඔබට පිං.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන..

    ReplyDelete
  3. අද තමා ලිපිය දැක්කේ . අදහස් ටික හිතට ගත්තා . බොහොම පිං

    ReplyDelete
  4. අදහස් දැක්වුවාට ගොඩක් තුති..ගිම්හානි..

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට