නිදුක් බලන කට්ටිය

2012/05/03

බුදුන් පුදන චෛත්‍ය තුන

රේරුකාණේ චන්ද්‍රවිමල මාහිමිපාණන් විසින් රචිත ධර්ම විනිශ්චය පොතෙන් පහත ඡේදය උපුටා ගතිමි..


ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චෛත්‍ය කොතෙක් ඇත්තේද" යි විචාළහ. "ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය" යි වදාළ සේක. "ඒ චෛත්‍ය කවරේද" යි විචාළ කල්හි; "ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේසිකය යි චෛත්‍ය තුනක් ඇත්තේය" යි වදාළ සේක. "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැඩ ඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේද"යි විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ, "ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකිය. එය කළ හැක්කේ බුදුන් පිරිනිවි කල්හිය. උද්දේසිකයට  ශාරීරික, පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහා බෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය" යි වදාළ සේක.   

================================================================
අදහස සරලව
================================================================
බුදුන් නැති කලෙක මිනිසුන්ට පූජා පැවැත්වීම පිණිස දෙවුරම් වෙහෙර ඇසුරෙහි පූජනීය ස්ථානයක් ඇති කළ හැකි දැයි බුදුන් වහන්සේ ගෙන් දැන ගනු මැනවැයි අනේපිඬු සිටාණන් කළ ආනන්ද හිමියන් වෙතින් කළ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ වෙත එළැඹි ආනන්ද හිමියන් හා බුදුන් වහන්සේ අතර වූ දෙබසකි මේ..
ආනන්ද හිමියන් : ස්වාමීනි චෛත්‍යයන් කීයක් තියෙනවාද?බුදු හිමියන් : චෛත්‍යයන් තුනකි.

ආනන්ද හිමියන් :  ඒ මොනවාද?
බුදු හිමියන් : ශාරීරික, පාරිභෝගික, උද්දේසික
ආනන්ද හිමියන් :  ඔබ වහන්සේ වැඩ වසත්දීම චෛත්‍ය කළ හැකිද?
බුදු හිමියන් :
ශාරීරික චෛත්‍ය කළ හැක්කේ බුදුන් පිරිනිවි පසුය. ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් නැතිව, සිතට බුදුන් ලංවන චෛත්‍යය උද්දේසික වේ.. බුදුන් විසින් පරිභෝග කළ බෝධීන් වහන්සේ කවරදාටත් චෛත්‍යයක් ම වේ..

=============================================================
මගේ අදහස
=============================================================
මෙහි පාරිභෝගික චෛත්‍යය.. ඉතා පැහැදිලි ව බෝධීන් වහන්සේ ලෙස දක්වා ඇත.. එහෙත් බුදුන් වහන්සේ පරිභෝග කළ වෙනත් දෑ ද පාරිභෝගික චෛත්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් එවන් දෑ දුලබ වීම නිසා බෝධි වෘක්ෂය එහි පෙරමුණ ගෙන ඇති බැවු පෙනෙයි..

බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ස්ථූප ආදිය ශාරීරික චෛත්‍යය ලෙස දැක්වේ..
ඉතා පැහැදිලි ව ශාරීරික හෝ පාරිභෝගික වස්තූන් නැතිව බුදුන් සිහිවන, සිතට බුදුන් වහන්සේ ගැන ගෞරවය එක්කරන යම් වස්තුවක් වේනම් එය උද්දේසිකය ලෙස දක්වා ඇති බැවු පෙනේ..  ශාරීරික ධාතු වලින් තොර බුද්ධ ප්‍රතිමා, ස්ථූප ආදිය මේ අනුව උද්දේසික චෛත්‍යය ලෙස හඳුනා ගත හැක.. එහෙත් අද බොහෝ දෙනා උද්දේසික චෛත්‍ය හරි හැටි හඳුනාගෙන නැති බැවු පෙනේ..

4 comments:

  1. Replies
    1. ඔබටත් බොහොම පිං.. මාව තනි නොකලාට..!

      Delete
  2. කෙසේ නමුත් මුල්කාලීනව වගේම තවමත් විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරද්දී සර්වඥ ධාතු තැන්පත් කරන එක සිරිතක්

    ReplyDelete
    Replies
    1. ඒවා එතකොට ශාරීරික චෛත්‍ය ගණයටයි ගැනෙන්නෙ.

      Delete

ඔබේ අදහස බොහො වටී මට