නිදුක් බලන කට්ටිය

2014/01/22

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම




පින්වත් බෞද්ධයිනි,

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කියන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ මනුෂ්‍ය ජීවිතය මිත්‍යාදෘෂ්ටිකයෙක් නොවී බෞද්ධයෙකුව උපත ලබන්නත්, ධර්මය ඇසිය හැකි කාලයක, ධර්මය ඇසිය හැකි පෙදෙසක නීරෝගීව, බුද්ධිය ඇතුව මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන්නේ අපි ‍පෙර කරපු කුසල් නිසාම අපට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවක්.

නොපෙනෙන දෙවියෙකු අදහාගෙන, අනිවාර්යෙන් අපායගාමී වෙන අයට වඩා, කාන්තාරවල, වතුර සල්ලි වලට ගන්නට වෙන රටවල මනුෂ්‍යයෙක් විදියට උපත ලබන අයට වඩා ඒ අතින් මේ කියවන ඔබ කොයිතරම් පින්වන්තයිද කියල ඔබ මොහොතකටවත් හිතුවද? මේ ලැබිල තියෙන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්..

පින්වතුනි, ඉතින් ඒ දුර්ලභ අවස්ථා‍වෙන් ප්‍රයෝජනයක් නොගෙන නිකම්ම ඉඳල මැරිල යන්නද අදහස?
මතක තියාගන්න පින්වතුනි, ඔබ මේ ආත්මභාවයේ මෙහෙම උපත ලැබුවේ පෙර කළ කුසල ශක්තියටයි. කුසල් කියන දේ ගෙවෙනවා. හරියට පදින්න පදින්න කරත්ත රෝදය ගෙවෙනවා වගේ. අළුතින් රෝදයක් නොදැම්මොත්, රෝදය අන්තිමටම ගෙවෙනකන් හිටියොත්, කරත්තයෙන් ආපහු ගමනක් යන්න බෑ නේද?

ඒ වගේ මේ ආත්මේදිම නිවන් දකින්න ඔබට බැරිනම්, යළිත් මේ වගේ ආත්ම භාවයක් ලබන්න යළි යළිත් කුසල් කළ යුතුමයි. මනුෂ්‍ය ලෝකයේදී පමණයි ඔබට පින් රැස් කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියා ගන්නට ඕන. කුසල් අවසාන වෙනකොට අකුසල් උඩට මතුවෙලා පලදෙන්න පටන් ගන්නවා. ඊට පෙර නිර්වාණාවබෝධය උදෙසා කුසල් රැස් කිරීම ඔබලා සතු කාර්යයයි.

නමුත් ගොඩක් දෙනා අද කුසල් රැස් කරන්න පින් කරන්නේ අවබෝධයකින් නෙමෙයි. ඒ නිසා අපි අද ඉඳන්වත් කරන සෑම කුසලයක්ම සිහියෙන් කරන්නට උත්සාහ ගමු.

නැත්තම් ඒ කරන කුසලයේ නියම අර්ථයක්, ප්‍රතිඵලයක් නැති වෙනවා.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුනෙත්ත සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන්නේ දිර්ඝායුෂ තිබ්බ කාලයක විස්තර. මේ බුද්ධ දේශනාවට අනුව බුදුරදුන් දේශනා කරනවා මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙන් පිරිහෙන්න මිනිස්සු ආයුෂ වලින් අඩුවෙන බව.

ඊටපස්සෙ මිනිස්සු බලන්නේ ඒ චූටි කාලයේ පුළුවන් තරමින් සතුටින් ඉන්නයි. හැබැයි ධර්මයෙන් නෙමෙයි. අධර්මයෙන්. ඒ කියන්නේ ආයුෂ අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු තව තවත් අධර්මයටම යොමුවෙනවා. ඒ විදියට අධර්මයට හැරෙන්න හැරෙන්න තව තවත් ආයුෂ අඩුවෙනවා. ඉතින් තවත් අධර්මයට හැරෙනවා. තවත් ආයුෂ අඩුවෙනවා.

බුදුරජාණන්වහන්සේ සුනෙත්ත සූත්‍රයෙන් දේශනා කරන්නේ ආ‍යුෂ ඉතා වැඩි කාලයක් ගැන.

ඉතින් පින්වතුනි, මේ සුනෙත්ත සූත්‍රයෙ තියෙන්නේ අතීතයේ, බුදුදහම නැති කාලෙක ජීවත් වුණු සුනෙත්ත කියල ශාස්තෘවරයෙක් ගැන. මේ සුනෙත්ත ශාස්තෘවරයට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ ඉඳල තියෙනව.

මේ සුනෙත්ත කියන ශාස්තෘවරයා මිනිස්සුන්ට ධර්මය කියා දුන්නා. බ්‍රහ්ම ලෝකවල උපදින්න මාර්ගය කියා දුන්නා. සමහර අය එහෙම ධර්මය දේශනා කරන සුනෙත්තට බැන්නා. ඒ බැනපු අය මරණින් මතු නිරයේ ඉපදුණා. ඒ ධර්මය පිළිපැදපු අය මරණින් මතු දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, වෙනත් සුගති ලෝකවල ඉපදුණා.

ඊටපස්සේ ඉපදුණා මූගපක්ඛ කියලා තවත් ශාස්තෘවරයෙක්. මෙයත් ධර්මය දේශනා කළා මිනිස්සුන්ට බ්‍රහ්ම ලෝකවලට යන මාර්ගය. ඒ කිව්වේ ධ්‍යාන වඩන්න. බ්‍රහ්ම ලෝකවල යන්නේ ධ්‍යානලාභී අයනේ. ධ්‍යානලාභී වෙන්න නම් කාමයන්හි වීතරාගි වෙන්න ඕන. ඒ කිව්වේ කාමය අත්හරින්නට ඕන.

මේ විදියට මූගපක්ඛට පස්සේ අරනේමි, කුද්දාල, හත්ථිපාල, ජෝතිපාල ආදී තවත් ශාස්තෘවරු පහළ වුණා. මේ හැමෝම ධර්මය දේශනා කළේ බ්‍රහ්ම ලෝකවලට යන්නයි.

දැන් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අරක සූත්‍රය ගැන. අර පෙර කිව්ව ශාස්තෘවරුන්ට පස්සේ‍ අරක නම් ශාස්තෘවරයා පහළ වුණා. එයා ධර්මය දේශනා කළෙත් බ්‍රහ්මලෝකවලට යන්නයි. මේ අරක කියන ශාස්තෘවරයා තමන්ගේ ශ්‍රාවකයින්ට මෙහෙම දේශනා කරනවා..

බ්‍රාහ්මණවරුනි, මේ ජීවිතය හරියට තණ අග පිණි බිඳුවක් වගේ. හිරු නගිනකොට සැණෙකින් නැතිවෙනවා. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතයත් හරියට තණ අග පිණි බිඳුවක් වගේ. බොහෝ ටික කාලයයි තියෙන්නේ. සැණෙකින් නැතිවී යනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

ඊළඟට අරක ශාස්තෘවරයා කියනවා, බ්‍රාහ්මණවරුනි, වැසි වතුර වතුරට වැටෙද්දී සැණෙකින් දිය බුබුලු හටගන්නවා. නමුත් වැඩිවේලා තියෙන්නේ නෑ. ඉක්මණින් විනාශ වෙනවා. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතයත් හරියට දිය මත දිය බුබුලක් වගේ. බොහෝ ටික කාලයයි තියෙන්නේ. සැණෙකින් නැතිවී යනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

තවත් ඔහු මෙහෙම කියනවා, බ්‍රාහ්මණවරුනි, දිය මත ඉරක් ඇන්ද විට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඉක්මණින් මැකී යනවා. ඒ වගේ මේ ජීවිතයත් බොහෝ ටික කාලයයි තියෙන්නේ. සැණෙකින් නැතිවී යනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

මේ ජීවිතය හරියට කන්දකින් පහළට වේගයෙන් ගලා බහින සැඩපහරක් වගේ. හසුවෙන සෑම දෙයක්ම ගසාගෙන යනවා. ඒ විදියට නොකැඩී ගලන සැඩපහරක් වගේ නොනැවතී ගලාගෙන යන ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ.

අරක ශාස්තෘවරයා ඊළඟට ජීවිතය රත්වූ තහඩුවකට දැමූ මස් කැබැල්ලකට උපමා කරනවා. එම මස් කැබැල්ල ඉකිමණින් රත්වී පිළිස්සී යනවා වගේ මේ ජීවිතයත් කෙටියි, බොහෝ දුත් සහිතයි. හැමවිටම කුසල් කරන්න. පින් රැස් කරගන්න. උපන් කෙනෙක්ට නොමැරී සිටින්නට විදිහක් නෑ කියලා.

පින්වතුනි වැදගත්ම කාරණාව මේකයි. ඉන්පස්සේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා,
මහණෙනි, අරක ශාස්තෘවරයා ඒ විදියට ජීවිතයේ කෙටි බව, අනියත බව ගැන කියපු කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැට දහසක්.. කියල.

පින්වතුනි බලන්න, එතකොට බුදුරජාණන්වහන්සේ මේ දේශනාව සිදුකරල අවුරුදු දෙදහස් පන්සියයකටත් වැඩියි. එහෙනම් මේ කාලයට මේ දේශනාව කොයිතරම් ගැලපෙනවද කියල හිතන්න පොඩ්ඩක්.

ඒ කාලයේ මිනිස්සුන්ට දැන් කාලයේ වගේ ලෙඩ රෝග තිබුණේ නෑ. ඒ කාලයේ මිනිසුන්ට තිබුණෙ ආබාධ හයයි. සීතල නිසා අසනීප වීම, රස්නය නිසා අසනීප වීම, පිපාසය, බඩගින්න, මළ පහවීම, මුත්‍රා පහවීම තියන ටිකයි ඒ ආබාධ ටික.

එතකොට එහෙම ආයුෂ තිබුණ මිනිස්සුන්ටයි අරක ශාස්තෘවරයා අර විදියට ජීවිතයේ අනියත බව දේශනා කළේ. පොඩ්ඩක් හිතන්න පින්වත්නි. අපි මේ වෙනකන් අපේ ජීවිතයට මොකද්ද කරගත්තු ප්‍රයෝජනය කියල?

අපි අපි වෙනුවෙන් යමක් කළාද? පිරිහීගෙන යන සම්බුදු සසුන වෙනුවෙන් යමක් කළාද? පිරීහීගෙන යන අපේ සිංහල ජාතිය වෙනුවෙන් යමක් කළාද? අපේ දුවා දරුවන්ගේ අනාගතේ ගැන හිතල අපි මේ රට වෙනුවෙන් යමක් කළාද?
හිතන්න පින්වතුනි.. අප්පමාදෝ අමතපදං කියන්නේ ඒකයි.. ප්‍රමාදය පසුතැවීමට හේතු වෙනවා.. ‍තවත් ප්‍රමාද වෙන්නට එපා.. හිතන්න.. කළ යුත්ත කුමක්ද කියා නිවැරදිව තීරණය කරන්න.

 ඔබ සැමට තෙරුවන් සරණයි !!!

සැකසුම,
විශ්ව වංශනාත්.

2 comments:

  1. බුදු හාමුදුරුවො.. වෙනත් ශාස්තෲන් වහන්සේලගෙ උනත්.. නිවැරදි දේට ගරු කරපු ආකාරය පෙන්වන දම් දෙසුමක්.. අපේ රට වෙනුවෙන්.. ජාතිය වෙනුවෙන්.. ආගම වෙනුවෙන්.. සහ අප වෙනුවෙන්.. අප කළ යුත්තේ.. එකම දෙයයි.. බුදු රදුන් දෙසූ.. අරි අටැඟි මගේ ගමන් කිරීම පමණමයි.. නේද?

    ReplyDelete
  2. අන්තර්ජාල ධර්ම සංජායනයක්. කාලොචිත පියවරක්ග ප්‍රශසනීයයි

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට