නිදුක් බලන කට්ටිය

2014/03/10


අප ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන්වහන්සේ සුනෙත්ත සහ අරක සූත්‍ර දේශනා වලදී දක්වනවා යම් කිසි ශාස්තෘවරයෙක්, මිත්‍යාදෘෂ්ටිය ගැන දේශනා නොකර සුගතියකට යන්න, සුගතිගාමී වෙන්නට මාර්ගය දේශනා කරනවානම් ඒ කෙනාට දොස් කියන්නට, ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන අයට දොස් නගන්නට යන්න එපා. සත්‍ය නම් දේශනා කරන්නෙ, එයයි වටින්නේ කියලා. බොහෝවිට මෙහෙම අය පහළ වෙන්නේ බුදු කෙනෙක් ලෝකයේ නැති කාලවල පමණයි. බුදු කෙනෙක් වැඩ ඉන්න කාලයේ ලෝකයේ පහළ වෙන එකම සත්‍ය දහම බුදුදහම පමණයි.

මේ සමාජයේ ඉන්නවා එක්තරා කොටසක්. ඒ කොටස හැමවිටම වංචනික ධර්මයන්ගෙන් මුලාවෙලා පැත්තක් අල්ලගෙන අනිත් පැත්තට ගරහ ගරහා ඉන්නවා.

උදාහරණයක් විදියට බලන්න, පිරිසක් මහමෙව්නාවට බනිනවා, පිරිසක් සිරි සදහම් ආශ්‍රමයට බනිනවා, දැන් අර මහරහතුන් වැඩි මග ඔස්සේ හාමුදුරුවන්ටත් පිරිසක් බනිනවා.

ඉතින් දැන් මේ හැම තැනකම යම් යම් වෙනස්කම් සහිතව දේශනා වෙන්නේ බුදු දහමයි. ක්‍රමය වෙනස්. මතගැටුම් ඇතිවෙන්නෙ මේකයි. සමහර විට මේවා නිසා ධර්මය විනාශ වෙන්නත් පුලුවන්. බුදුරජාණන් වහන්සේත් දේශනා කළානේ බුදුදහම වගේ ධර්මයන් ඇතිවෙන නිසාත් බුදුදහම විනාශ වෙනවා කියලා.

ඉතින් මේ මිනිස්සු ඇයි මේ ස්වාමීන්වහන්සේලට බනින්නේ?

බුදුදහමේ සඳහන් වෙනවා වංචනික ධර්මයන් කියලා කොටසක් ගැන. මේ කොටසේ තියනවා ශ්‍රද්ධාව ලෙසින් වංචා කර වටහාගෙන කෙනෙක් තුළ රාගය ඇතිවෙනවා කියන කාරණය. මේක තමයි දැන් වෙලා තියෙන්නේ. ශෝභන රූපය, මිහිරි කටහඬ, තරුණ බව, සිත් ගන්නා සුළු මිහිරි වදන් තියන භික්ෂූන් වහන්සේලා දකින සමහර අයට, විශේෂයෙන්ම කාන්තාවන්ට ශ්‍රද්ධා ආකාරයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වෙනවා. දැන් ඒ අය දන්නෙ නෑ මේ ඒ අයට පහළ වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව නෙමෙයි වෙන එකක් කියලා. එයලා හිතන්නේ මේ ශ්‍රද්ධාවමයි කියලා. එහෙම හිතාගෙන අර හාමුදුරුවන්වම අල්ලගෙන අනේ බොහොම හොඳ හාමුදුරුවෝ, ශෝක් හාමුදුරුවෝ කිය කියා ඒ හාමුදුරුවො ගාවටම පමණක් යන්නට පටන් ගන්නවා. ඒ හාමුදුරුවන්ටම සැලකිලි කරනවා. ඒ හාමුදුරුවො සමග සසඳලා අනිත් හාමුදුරුවරු පහත් කොට විග්‍රහ කරනවා. අනික් හාමුදුරුවරුන්ට නින්දා කරනවා. දැන් ඒ අයගේ මේ ශ්‍රද්ධාව මොකද්ද කියලා එයාලවත්, එයාලගේ පවුලේ අයවත්, එයාගේ නෑයොවත්, කව්රුවත් දන්නෙ නෑ. කව්රුහරි කෙනෙක් මේ කාරණය තේරුම් අරගෙන මේ කෙනාට පැහැදිලි කරල දෙන්නට උත්සහා කරොත් ඒ කෙනාට බනිනවා ඊර්ෂ්‍යාව, ශ්‍රද්ධාව නැතිකම, පව්කාරකම කියලා. ඒ වගේ ක්ලේශ වංචනයන්ට මිනිස්සු කොයි තරම් අහුවෙනවද කියලා තේරෙනවනේ. දැන් වෙලා තියෙන්නෙත් මේක තමයි.

ඒකට ඔය උක්ත වැඩ සටහන් වල හාමුදුරුවරුන්ට කරන්නට දෙයක් නෑ.

මේක තමයි ශ්‍රැතය නැතිකම කියන්නේ. ධර්මය පිළිබඳ දැනීම නැහැ.

සමහර ඇත්තො ගාථා කවි කටපාඩම් කරලා, ධර්ම කරුණු කටපාඩම් කරලා තමන් මහා ප්‍රඥාවන්තයෝ, මාර්ගඵල ලාභියෝ කියලා හිතාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය ගැන විමසීමෙන් බලන්න. ප්‍රඥාව කියන්නේ ස්මරණ ශක්තිය නෙමෙයි. ස්මරණය කිව්වේ මතකය. දෙයක් මතක තිබූ පමණින් ඒක ප්‍රඥාව කියන්නට බැහැ. මොකද මනුස්සයෙකුට ඕනෑ තරම් මතක ශක්තිය තියෙන්නට පුළුවන්. නමුත් ප්‍රඥාව ඇතිවෙන්නේ නුවණින් විමසීමෙන්. නුවණින් විමසීමේ හැකියාව වැඩිවෙන්නට, වැඩිවෙන්නට තමයි ඒ තැනැත්තාගේ ප්‍රඥාව උසස් වෙන්නේ.

අන්න ඒ කාරණා මතක තියා ගන්න.

හැමදාමත් වගේ මේ කරුණූ ටිකත් මම කියන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. මොකද අර මම කලින් පෝස්ටුවක දැම්ම ද්වේෂ සහගත වංචනික ධර්ම තියන ඇත්තෝ කොහොමත් බනින අයට බැණ බැණම ඉන්නවා. ඒක ඉතින් ඒ ඇත්තන්ගේ ප්‍රඥාව. අපි හරි දේ කරන්නට, හරි මග යන්නට පුරුදු වීමයි වටින්නේ.

තෙරුවන් සරණයි!!

සටහන - විශ්ව වංශනාත්

1 comment:

  1. ගොඩාක් වටින අදහස් ටිකක් මල්ලි.බොහොම ස්තුතියි

    ReplyDelete

ඔබේ අදහස බොහො වටී මට