නිදුක් බලන කට්ටිය

2011/08/26

සච්චක දමනය


මං අද කියන්නේ පහුගිය ලිපි වලින් කිව්වාට වඩා ටිකක් විතර වෙනස් කතාවක්. ඒ කියන්නේ මේක අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙ සිද්ධ වුනා යැයි කියන කතාවක්.

මේක තමයි ඔය චුල්ල සච්චක සූත්‍රයේ නිධාන කතාව. ඔන්න අපේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියලු විශාලා මහනුවර මහ කැලේ තිබුණු කූටාගාර ශලාවේ. ඒ නුවර සච්චක කියලා නිගන්ඨයෙක් හිටියලු.

මේ සච්චක බොහොම උගත් බුද්ධිමත් කෙනෙක්. වාද කිරීමට විශාල හැකියාවක් මේ සච්චකට තිබුණ හින්දා බොහෝ දෙනා මෙයාට බොහොම ගෞරව කළා. සච්චකත් ඉතිං තමන් ගැන ටිකක් ඕනවට වඩා ආඩම්බරයකින් හිටියේ. මාත් එක්ක වාද කරලා කාටවත් දිනන්න බෑ, නිකංම ඔවුන් ලැජ්ජාවට පත්වෙනවා කියලා තමයි සච්චක හිතාගෙන හිටියේ.
ඔන්න දවසක් සච්චකට හමු වුණා අස්සජි හාමුදුරුවන්ව. හාමුදුරුවොත් එක්ක කතාවට වැටුණු සච්චක අහනවලු, අස්සජි හාමුදුරුවනේ, ඔය බුදු හාමුදුරුවෝ මොන වගේ අනුශාසනාවකින්ද එතුමා ගේ ශිෂ්‍යයින් හික්මවන්නේ? කියලා.
එතකොට අස්සජි හාමුදුරුවෝ කියනවා, “රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ හැම ධර්මයක්ම අනිත්‍ය බවත්, ආත්ම නොවන බවත් දුක බවත් උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට අනුශාසනා කරනවා” කියලා. මේක අහලා සච්චක කියනවා, හොඳයි මං එන්නං බුදු හාමුදුරුවොත් එක්ක මේ ගැන තර්ක කරලා එතුමාව පරද්දන්න කියලා.

ඔන්න ඉතිං සච්චක යනවා බුදු හාමුදුරුවො මුණ ගැහිලා මේ ගැන වාද කරන්න. එයා එතෙන්ට යනකොට වේදේහ රටේ ලිච්ඡවී ලත් ඇවිල්ලා ඉන්නවා බුදු හාමුදුරුවෝ බැහැ දකින්න. දැං සච්චක හිතුවා මෙයාලටත් පෙන්නන්න ඕන මගේ වාද කිරීමේ දක්ෂතාවය කියලා. එයාලටත් ආරාධනා කළා වාදය බලන්න.

සච්චක බුදු හාමුදුරුවන්ගෙන් අහනවා, බුදු හාමුදුරුවනේ මට ප්‍රශ්ණ කීපයක් තියෙනවා ඔබ තුමාගෙන් අහන්න, ඒකට අවසරද කියලා. බුදු හාමුදුරුවො කිව්වා අහන්න කියලා. සච්චක කියනවා මං ඒ ප්‍රශ්ණය උපමාවකින් අහන්නම් කියලා. මෙන්න මේ අදහසයි දෙබසේ තිබුණේ.
සච්චක:
පොළොවේ වැඩෙන ධාන්‍ය වර්ග, ගස් වැල් ආදිය පැළවී, උස් මහත් වී ඵල දරන්නේ පොළොව මුල් කොට ගෙන මෙන් ශරීර ශක්තියෙන් කෙරෙන කර්මාන්ත කය ආත්ම කොට ගෙන නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආත්ම කොට ගෙන පිං හෝ පවු රැස් කරනවා නේද? 
බුදු හාමුදුරුවෝ :
සච්චක කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ඔබ, ඔබේ ආත්මය යැයි කියලාද?
සච්චක:
මං විතරක් නෙවෙයි මේ හැමෝම එහෙම කියනවා.
බුදු හාමුදුරුවෝ :
අනික් අයව ගාවන්න ඕනි නෑ, සච්චක ගේ අදහස කියන්නකෝ.
සච්චක:
ඔවු. මං කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ මගේ ආත්මය, මම යැයි කියලා
බුදු හාමුදුරුවෝ :
ඔටුණු පළන් රජ කෙනෙකුට තමාගේ රටේ මරන්ට ඕන කෙනෙකු මරන්ටත්, ධනය රාජසන්තක කළ යුත්තෙකුගේ ධනය රාජසන්තක කරන්නටත්, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නටත් බලය තියෙනවාද?
සච්චක:
ඔවු පුළුවං. ඔටුණු පැළැන්දේ නැති වුණත් මහ පිරිසක් ඉන්න ලිච්ඡවීන්ටත් මල්ල රජවරුන්ටත් ඒ බලය තියෙනවා.
බුදු හාමුදුරුවෝ :
එතකොට මගේ ආත්මයැයි කියපු රූපය ඔබට ඕනි ඕනි විදිහට වෙනස් කරන්න බලය තියෙනවාද? (දැං නං ප්ලාස්ටික් සැත්කම් වලිං පුළුවං. ඒත් ඒ ස්වභාවික රූපය නෙවෙයි නොවැ. ඒකත් තාවකාලිකයි නොවැ..)
සච්චක :
(කට උත්තර නැතිව බලා හිඳී…)
බුදු හාමුදුරුවෝ :
(පෙර ප්‍රශ්ණයම නැවත ඇසු සේක.)
සච්චක :
බැහැ, බුදු හාමුදුරුවනේ. මට රූපය ගැන එහෙම බලයක් නෑ.
බුදු හාමුදුරුවෝ :
එතකොට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මත් එහෙම තමන්ට ඕනි ඕනි විදිහට වෙනස් කරන්න ඔබට බලයක් තියෙනවාද?
සච්චක :
බැහැ, බුදු හාමුදුරුවනේ. මට එහෙම බලයක් නෑ.
බුදු හාමුදුරුවෝ :
ඔබ මුලින් කිව්ව තර්කයත් දැන් කියන දේත් හරිම පරස්පරයි. මොකද හිතන්නේ…
රූපය අනිත්‍යයයි නේද?
සච්චක :
එහෙමයි.
බුදු හාමුදුරුවෝ :
මොනවා හරි අනිත්‍ය නම් ඒක දුකයි ද, සැපයි ද?
සච්චක :
ඒක දුකක් නේ බුදු හාමුදුරුවනේ…
බුදු හාමුදුරුවෝ :
යමක් අනිත්‍ය නම්, වෙනස් වෙන සුළු නම් , මෙය මාගේය, මම වෙමි හෝ මගේ ආත්මය යැයි හිතන්නට පුළුවන්ද?
සච්චක :
බැහැ. බුදු හාමුදුරුවනේ..
බුදු හාමුදුරුවෝ :
අරටුවෙන් යම් ප්‍රයෝජනයක් ගන්න අරටුවක් හොයාගෙන කැලේට යන මිනිසෙකු, හොඳ විශාල කෙහෙල් ගහක් දැකලා මුලින්ම කපා ගන්නවා. ඊට පස්සේ අරටුව හොයන්න පතුර බැගින් ගලවනවා…. අරටුවක් හමු වෙයිද? 
සච්චකත් ඒ වගේ කිසිම හරයක් නැති දෙයක් හරයක් ඇතැයි හිතාගෙන වාදයට එළඹුනත් අවසන ඔබේ අදහසේ හරසුන් බව නිසාත් තර්ක කරන්නට දෙයක් නැති නිසාත් පැරදුණා නේද?
සච්චක :
බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ගෝලයන් ඔබ වහන්සේගේ අනුශාසනා පිළි අරං සැකයක් නැති විශාරදයින් බවට පත්වෙනවාද?
බුදු හාමුදුරුවෝ :
මගේ ශ්‍රාවකයින් අතීත, අනාගත, වර්තමාන කාලයන්හී රූපයන් මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යහපත් නුවණින් දන්නවා. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ධර්මයන්ද මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දන්නවා. ඒ හිංදා ඒ අය සැකයක් නැති විශාරද පිරිසක් තමයි. ඔවුන් මේ විදිහට කෙලෙස් දුරු කරලා, සසර බැඳීම් දුරු කරලා  මහ රහත් ඵලය ලබනවා.

** මෙයින් මහත් ලෙස පැහැදුණු ලිච්ඡවීන් හා සච්චක විසින් පසුදින දානය බුදු රදුන් හා භික්ෂූන් උදෙසා පිළිගන්වනු ලැබුවා.

** මගේ අදහස **
ආත්ම යන වචනය බුදු දහමේ යොදාගෙන ඇත්තේ අප භාවිත කරන ආත්ම යන වචනයට වඩා වෙනස් අරුතකින්යැයි මට හැඟේ. ස්ථීර ව පවතී වැනි තේරුමක් මෙහි ඇතැයි මම සිතමි.
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සියළු ධර්මතා නිරන්තරයෙන් වෙනස් වන හෙයින් අස්ථිර වේ. මේ මොහොතේ චතුර යැයි හඳුන්වන කෙනා තවත් මොහොතකින් සිටින චතුරට වඩා වෙනස්ය. 
මදක් සිතන්න මම මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් මම කියා කෙනෙක් නැති බව තේරුම් ගත හැකිය. අනාත්ම යන්නෙන් අදහස් කෙරෙනුයේ අස්ථීර බවයි. අනිත්‍ය යන්නෙන් ඇතිවන හා නැතිවන බවත්, දුක්ඛ යන්නෙන් දුකත් කියැවෙන බව පහසුවෙන් තේරුම් ගත හැකි වුවත් ආත්ම යන්න භවය යන අර්ථයෙන් භාවිතා කරන අප වැනි අයට මෙහි යෙදෙන ආත්ම යන වචනයේ අර්ථය වටහා ගැනීම මඳක් අපහසුය. යම් කෙනෙකුට මෙය වඩාත් පැහැදිලි කළ හැකි නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 
මෙහි ඇති කතාව සරල බසින් ලියූවේ තේරුම් ගැනීමේ පහසුව සඳහා බැවු සලකන්න.


2011/07/22

දුෂ්චරිත (දුසිරිත්)



තමන්ට හෝ අනුන්ට දුකක්, කරදරයක් හෝ හිංසාවක් වන වැරදි සිරිත්, දුසිරිත් බව අප තේරුම් ගත යුතුය. හොඳින් අවධානය යොමු කළහොත් අප තුල බොහෝ දුසිරිත් ඇති බව ද  අපට තේරුම් ගත හැක. 


වෙනත් අයගේ දුසිරිත් දැකීමට වඩා තමන්ගේ දුසිරිත් ඇත්නම් ඒවා සුසිරිත් බවට හරවා ගැනීම වැදගත්ම කාරණයයි.


පස් පවින් වැලකීමෙන් අපට දුසිරිත් වලින් බොහෝ දුරට ඈත් වී සිටිය හැක. එහෙත් එපමණක්ම නොසෑහේ. දුසිරිත් ඇති විය හැකි ආකාර ගැන අප කල්පනා කළ යුතුය. 


උදා : පර පණ නැසීමේ අකුසලය. 
මෙය සිදු වන්නේ වෙනත් කෙනෙක් ඝාතනය කිරීමෙනි. එහෙත්  සතෙක් මරන්නෙ නැතිව මස් ආහාරයට ගැනීම පුරුද්දක් කරගත්තොත් එය නරක සිරිතක් නොවේද? සතුන්ට හිංසා කිරීම නරක සිරිතක් නොවේද? 


සියල්ලටම සිත මුල්වෙන බැවින් යහපත් අරමුණු පුරුදු කිරීමෙන්ම දුසිරිත් දුරලිය හැක. අනුන් ගැන විවිධ විවේචන ඉදිරිපත් කරන්නන් තම ගැන සිතන තරමටම අනුන් ගැනත් සිතුවානම් නරකද?


අයහපත් අරමුණ යහපත් අරමුණකින්ම ප්‍රථිස්ථාපනය කළ යුතුය. 


අපට මේ හැටි කරදර ඇත්තේ අප තුල ඇති දුසිරිත් නිසාමය. 


වඩාත් සුලබ උදාහරණ කීපයක්


1. බීමත් කම : 
    බීමත් රියැදුරන් වැඩි හරියක් අනතුරු වලට වග කිව යුතු නොවේද?
    බීමත් තාත්තලා නිසා අනාථ වුනු පවුල් කොපමණ තිබේද?


2. දුම් බීම
    හෘද රෝග, පිළිකා වලට මූලිකම හේතුවකි.
    අක්‍රීය දුම් පානය තුලින් කී දෙනෙක්ට අහක යන ලෙඩ වැටී ඇත්ද?
3. අසංවර ඇඳුම්
    තැනට නොහොඹින අසංවර ඇඳුම් නිසා දකින අයගේ මනස තුල විවිධ අදහස් ඇතිවේ. එක් එක් අයගේ චින්තනයට අනුව (කාමුක, රාගික, ද්වේශ ආදී) විවිධ සිතුවිලි ඇති වී එමගින් බොහෝ නරක ප්‍රථිඵල අත්විය හැක.
     තමා හැඳ ඇති ඇඳුම තැනට නොගැලපෙන බව වැටහුනොත් ඇඳුම ඇඳි කෙනාද මානසිකව අපහසුතාවයට ලක් වනු ඇත. 


  සංවර චාම් ඇඳුම කොතැනත් සිත්ගනු ඇත. එබඳු ඇඳුම් ඇඳීම පුරුදු වන්න.

*****
තමා ගැන දවසට මිනිත්තු පහක් මෙනෙහි කරන්න. සුසිරිත් කරගත යුතු දුසිරිත් නිරතුරු ඔබට හමු වේවි. 


මේ ලිපිත් කියවලා බලන්න
අපි තවත් ප්‍රමාද වෙමු ද?

මිථ්‍යාවන්ගෙන් මිදීම


ඔබේ අදහසත් ලියලම යන්න.....

2011/06/15

මිත්‍යාවන්ගෙන් මිදීම

මට හිතෙන පිළිවෙලට මිත්‍යාවන්ගෙන් ඈත් වීම අපට ඇති ඉතාම අසීරු අභියෝගයයි. ඒ මිත්‍යාව විවිධ වූ වේශයන්ගෙන් පැමිණෙන බැවිනි. ඇතැම් විට එය බුදු දහමේ ඇතැම් සංස්කෘතික අංගයන් තුලට තදින් කාවැදී ඇත. මේවා සියල්ල අපට එක්වරම වෙනස් කළ නොහැකි බැව් අප තේරුම් ගත යුතුය. එහෙයින් වෙනස් කළ හැකි දෙයක් වේනම් එය වෙනස් කරන්නට අපි උත්සාහ කරමු.

ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්ණ ටික අසා බලන්න.

  1. ඔබ ඔබේ ප්‍රශ්ණ විසඳා ගැනීමට ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන වලට, දේවාල වලට හෝ යම් දෙවිකෙනෙකුට බාර හාර වී තිබේද? තවමත් ඒ පිළිබඳ විශ්වාස කරනවාද?
  2. බෝ ගස් වලට, පිරිත් නූල් වලට, පිරිත් පැන් වලට අමුතු බලයක් ඇතැයි ඔබ විශ්වාස කරනවාද?
  3. නැකැත්, සාස්තර ගුරුකම් ආදිය පිළිබඳව විශ්වාසයෙන් සියළු කටයුතු සිදුකරන්නේද?
  4. බුදු දහම උපයෝගී කරගෙන කරන යම් ගුරුකමක් තිබිය හැකියැයි ඔබ විශ්වාස කරන්නේද?
  5. වස්කවි, සෙත්කවි, බලි, තොවිල් ආදිය ගැන ඔබ විශ්වාස කරන්නේද?
  6. සීවලී මහ රහතන් වහන්සේ ගේ පිංතූරය, සීවලී යන්ත්‍රය තිබුණාම කවදාවත් කෑම වරදින්නේ නැතැයි ඔබ විශ්වාස කරන්නේද?
  7. අසූ හාර දහසේ පහන් පින්කම්, පහන් කූඩු, තොරණ ආදියෙන් මහා කුසල ආනිසංසයක් ලැබේ යැයි ඔබ විශ්වාස කරනවාද?
  8. කුකුල් මස් කෑ විට පවු සිදුවන නමුත්, මාළු කෑ විට පවු සිදු නොවන බැවු ඔබ සිතනවාද?

මේ ප්‍රශ්ණ වලට ඔබේ උත්තරය ඔව් නම් ඔබ නියම මිත්‍යා දෘෂ්ඨිකයෙකි. බොහෝ විට අප සමාජයේ අය ඉන්නේ අතර මැද තත්වයකය. අඩු තරමින් මේවායින් කීපයක් හෝ කරයි. අප මේ මිත්‍යාවන් කෙරෙහි යොමු වන්නේ ලෝභ, ද්වේශ, මෝහ යන මානසික ස්වභාවයන් නිසා හට ගන්නා සිතුවිලි නිසාය.

  1. ඔබගේ ප්‍රශ්ණ විසඳන්නට දෙවියන්ට, දේවාල වලට හෝ වෙනත් ආගමික ස්ථානයකට බාර දුන්නේ තමා කෙරෙහි ආත්ම විශ්වාසයක් නැති නිසා නොවේද? තමාගේ සිත දුර්වල නිසා නොවේද? එයින් අප ලබන්නේ හුදු ලාබ ආශ්වාදයක් නොහොත් මෝඩ චූන් එකක් නොවේද? මෙහිදී අප කළ යුත්තේ දැන උගත් කෙනෙකු සමග සාකඡ්ඡා කිරීම, තමාම කරුණු විශ්ලේෂණය කීරීම ආදී ක්‍රියා තුලින් විස්ඳුමක් සෙවීම මිස යාචකයන් සේ දෙවියන්ට කන්නලව් කිරීම නොවේ. අප මේ මිථ්‍යාවන්ට  යොමු වන්නේ මෝහය (මෝඩකම) හා ලෝභය තුලින් හට ගන්නා තණ්හාව නිසාය.
  2. බෝ ගස් වලට බෝධි පූජා පවත්වා, පිරිත් නූල් බැඳ, පිරිත් වතුර පානය කර නොයෙකුත් දේ පතන අය ගැන ද අප අනුකම්පා කළ යුතුය. එහෙත් මේවායේ හොඳක් ඇත්තේම නැතැයි මම නොකියමි. අප බුදුන් වහන්සේට බුදු වන්නට පිහිට වූ නිසා බෝධීන් වහන්සේට ගෞරව කිරීම, අවශ්‍ය විටක පැන් වත් කිරීම හොඳ දෙයකි. එමෙන්ම එම යහපත් ක්‍රියාව කිහිප දෙනෙකු හා එක්ව කිරීම තුලින් යහපත සමාජ ගත කරන්නට දායක විය හැක. එහෙත් බෝධි පූජාවකින් යම් රෝගී කෙනෙකුට සුවය පතනවා නම් එය මෙවැනි අදහසකින් කළ යුතුය. අප බුදු රජාණන් වහන්සේට බුදු වන්නට පිහිට වූ බෝධියට අපි ගෞරව කරමු. ඒ උතුම් මොහොත සිහි කිරීමෙන්ම අපගේ සිත් පහන් විය. ඒ සත්‍යයේ බලයෙන් මගේ මවට ඉක්මන් සුව ලැබේවා!”.  බෝධීන් වහන්සේට පැන් අවශ්‍ය නැති වෙලාවක පැන් කල සියයකින් නෑව්වත් එයින් පිනක් සිදු වන්නේ නැත. එක පැන් කලයක් වත් වත් නොකර ශ්‍රද්ධා සිතින් ගෞරව කළ හැකි නම් පිනක් සිදු වනු ඇත. පිරිත් නූලත්, පිරිත් පැනුත් නියෝජනය කරන්නේ තෙරුවනයි. එහි ඇති බලය තෙරුවනෙහි සත්‍යතාවයි. තෙරුවන කෙරෙහි සිත පහදවා ගන්නේ නැතිව, ශ්‍රද්ධා සිත් ඇති කරගන්නේ නැතිව පිරිත් වතුර බීමෙන් වත් පිරිත් නූල ඇඟේ දවටා ගැනීමෙන් වත් ප්‍රයෝජනයක් නොවන බව කිව යුතුය.
  3. නැකැත්, සාස්තර, ගුරුකම් බොහොමයක් හිංදු, මලයාල ආදී ව්දේශ වලින් පැමිණි පිළිවෙත්ය. අද කාලයේ නම් බොහොමයක් ඇත්තේ මේවායේ ආදි කර්තෲන්ටත් නින්දා කරන විදිහේ හොර පිළිවෙත්ය. එහෙත් කළ යුත්තේ කුමක්දැයි හිතා ගන්නට බැරි දුර්වල සිත් ඇත්තන්ට මාර්ගෝපදේශකත්වය සැපයීම ආදි කාලයේ නැකැත් බැලීම තුලින් සිදු කරන්නට ඇත. එහෙත් තාක්ෂණය මෙතරම් දියුණු සමාජයක, සිතන්නට පුළුවන් මිනිසුන් සිටින සමාජයක නැකැත් බැලීම එතරම් වැදගත් සාධකයක් වනු ඇතැයි මම නොසිතමි. එහෙත් විවාහ මංගල උත්සව වල කාලසටහන සකස් කිරීමට නැකැත් වල ඇති දායකත්වය බැලූ විට එය අවශ්‍ය තැනට යොදා ගැනීමේ වරදක් නැතැයි මට හැඟේ. එහෙත් අප නැකතෙහි වහලුන් විය යුතු නැත. සාස්තර හා ගුරුකම් නම් තනිකරම මිත්‍යාවන්ය. එතුලින් ලෝභය, දේවේශය, මෝහය නිරන්තරයෙන්ම වර්ධනය වේ.
  4. අද බොහෝ තැන් වල බුදු දහම උපයෝගී කරගෙන ගුරුකම් සිදු කරයි. නව අරහාදී බුදු ගුණ සිහිපත් කරන ගාථාව ගල් වලට ජප කර ඉඩමේ හතර කොන වැලලීමෙන් සෞභාග්‍ය්ය උදාකල හැකි බව කියන ගුරුකමක් ගැන මේ ලඟදී මට අසන්නට ලැබිණි. බුදු ගුණ සිහිපත් කිරීම ඉතා හොඳ දෙයකි. ඒ තුලින් අප වර්ධනය කළ යුත්තේ ශ්‍රද්ධාවයි. එතුමා ගැන සිත පහදවා ගතහොත් පමණි එතුමා දෙසූ මඟ පැහැදිලි ව ගමන් කළ හැකි වන්නේ. මෙලෙස බුදු දහම ඇසුරින් කළ හැකි ගුරුකමක් නැත. මුදලට බුදු දහම විකිනෙන්නේත් නැත.
  5. වස්කවි, සෙත්කවි, බලි, තොවිල් ආදිය අපේ සංස්කෘතික දායාදයන්ය. මේවා එක්තරා ආකාරයක මානසික ප්‍රතිකාර ක්‍රමෝපායන්ය. එහෙත් වස්කවි තුලින් ද්වේශය වර්ධනය කරන නිසා එය අත්හල යුතු කර්මයකි. අද වන විට මේවාට විකල්ප ලෙස ඉතා හොඳ මානසික ප්‍රතිකාර ක්‍රමෝපායන් බටහිර වෛද්‍ය් විද්‍යාවේ ඇත.
  6. සීවලී මහරහතන් වහන්සේ ගේ පිංතූරය, සීවලී යන්ත්‍රය තිබුණාම කෑම නොවරදින බව කලක සිටන් පැවත එන මිත්‍යා මතයකි. සීවලී මහරහතන් වහන්සේ ඉතා උසස් ගති පැවතුම් තිබූ ශ්‍රේෂ්ඨ මහ තෙර නමක් බවට විවාදයක් නැත. එහෙත් කෑම ටිකට තණ්හාවෙන් උන්වහන්සේගේ පිංතූරයක් එල්ලා ගෙන සිටීම උන්වහන්සේට කරන මදි පුංචි කමක් මය.
  7. මහා පහන් පිංකම්, මහා තොරණ්, මහා පහන් කූඩු, මහා දන්සැල් මේ දිනවල වැහි වැහැලාය. එහෙත් මේ ආමිස පූජා වලින් පිං සිදු වන්නේ කාගෙ කාගෙත් සිත් පැහැදෙන පමණටය. ඇතැම් විට මහා තොරණට වඩා ගෙදර හැදූ පුංචි තොරණින් සිත් පහන් වනු ඇත. අසූ හාර දහසේ පහන් පිංකමට වඩා පහන් දහයක් දැල්වීමෙන් සිත් පහන් විය හැක. ඒ නිසා කරන හැම ආමිස පූජාවකම ගුණාත්මක භාවය ගැන අප සැලකිලිමත් විය යුතුය.
  8. සමහරු හිතන්නේ මස් කන එක තරම් මාළු කන එක පව් නැතැයි කියාය. එහෙත් ඔය හැම සතාම පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන්ම මැරූ සතුන් බව අප තේරුම් ගත යුතුය. සියලුම මස් මාංශ ආහාරයෙන් වැලකිය හැකි නම් අගනේය. අඩු තරමේ එය අවම කරන්නට වත් උත්සාහ ගන්න.
 අප අතර පවතින මිත්‍යාවන් තවත් බොහෝ ඇත. මා මෙහි සඳහන් කර ඇති කරුණු විමසා බලන්නේ නම් ඒවාත් වෙන් කර හඳුනා ගත හැකි වනු ඇත. යම් තරමකට හෝ මිථ්‍යාවෙන් මිදෙන්නට මේ ලිපිය ඔබ කිසිවෙකුට හෝ උපකාර වූවා නම් එයින් මගේ සිත පහන් වනු ඇත.

මේ ලිපිත් කියවලා බලන්න


අපි තවත් ප්‍රමාද වෙමු ද?
දුෂ්චරිත (දුසිරිත්)


කියවූ ඔබට හිතෙන දේත් මෙතන ලියලා යන්න.

2011/05/18

අපි තවත් ප්‍රමාද වෙමු ද?

අප මේ සම්පූර්ණ කලේ අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ සම්බුද්ධත්වයෙන් දෙදහස් හයසීය වැනි වසරයි. අප්‍රමාදීව අකුසලයෙන් වැලකී, කුසලෙහි යෙදී සිත පහදවා ගන්නැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කලද, අපි තවමත් අකුසලයෙන් වැලකෙන්නට ප්‍රමාදීව වෙසෙමු. කුසලයෙහි යෙදෙන්ටත් සිත පහදවා ගන්ටත් බෙහෙවින් ම ප්‍රමාදීව වෙසෙමු. තවත් ඉතින් ප්‍රමාද වෙමු ද?

ජීවන දර්ශනය

බෞද්ධ ධර්ම තුල ඉතා නිරවද්‍ය ජීවන දර්ශනයක් අන්තර්ගතව තිබෙන බව සත්‍යයක් බව සෑම බෞද්ධයාම පාහේ පිලිගනියි. එසේ නම් එබඳු උතුම් ජීවන දර්ශනය අප අනුගමනය නොකරන්නේ මන්දැයි අප අපෙන්ම ප්‍රශ්ණ කල යුතුය. මිහිඳු මාහිමියන් ලංකාවට මේ උතුම් දර්ශනය ගෙන එන විට අප වෙත තිබූ දර්ශනය එතරම් හොඳ එකක් වන්නනට නුපුළුවන. රජු විනෝදයට සතුන් මැරූ බැවින් ම ඒ බැව් තහවුරු වේ. තව තවත් මිථ්‍යා ඇදහිලි, පුද පූජා ආදිය ද තිබෙන්නට ඇත. ඉන්දියානු ආක්‍රමණ නිසා මෙන්ම ලක් රජවරුන්ට මලබාර්, වඩිග බිසොවුන් ගෙන්වීමෙන් ද, රජ පෙළපත නායක්කර් වංශිකයන් අතට මාරු වීමෙන්ද අපගේ ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය කිලිටි වන්නට ඇත. ඒ බැවු බෞද්ධ සංස්කෘතියේ ප්‍රධානතම අංගයක් වූ පන්සල් තුල දේවාල ඉදි කැර තිබීමෙන් ම පැහැදිලි වේ. ඉන් අනතුරුව මෙහි පැමිණි පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ගේ අවිනීත හැසිරීමෙන්, මස් මාංශ අනුභවයෙන්, දුම් වැටි භාවිතයෙන්, මත් පැන් භාවිතයෙන් ආදී වශයෙන් වූ දුශ්චරිතයන්ගෙන් දූෂිත වූ අප බොදු දර්ශනය අද වන විට ලෙහා ගන්නට බැරි නූල් බෝලයක් වී ඇතැයි මට හැඟේ. එය එතරම්ම පැටලී ඇත.
අද අපගේ පුවත් පතක් විමසීමෙන් බැලුවහොත් මේ කරුණු ප්‍රත්‍යක්ෂ වනු ඇත. වශී ගුරුකම් දැන්වීම් අතර ප්‍රධානම දැන්වීම වේ. ප්‍රධාන පුවත් අතර බීමත් කම නිසා සිදු වූ අනතුරක් හෝ කලබගෑනියක් හෝ නොවන්නේ කලාතුරකිනි. නොමනා හැසිරීම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් නිරන්තරයෙන් ඇති පුවත් ය. සිත නොසන්සුන් කරවන මෙබඳු දැන්වීම් හා පුවත් වලට මුල මිථ්‍යා දෘෂ්ඨිය හා දුශ්චරිතයන්ය.

නූල් බෝලය ලෙහමු

අප තවත් ප්‍රමාද වන්නේ නැතිව මේ නූල් බෝලය ලෙහුවේ නැති නම්, අපේ පොඩ් එවුන්ටද මේ නූල් බෝලයේ පැටැලෙන්නට ම සිදු වනු නොඅනුමානය. පිරිසිදු බොදු සංස්කෘතියක් නැවතත් අප ඇති කල යුත්තේ එහෙයිනි. එය වෙනත් ආගම්, වෙනත් ජාතීන් කෙරෙහි වූ ක්‍රෝධයෙන් නොව අප කෙරෙහිම වූ අනුකම්පාවෙන් අප කළ යුතුය.



වෙනත් රටවල් වලින් පැමිණි මිථ්‍යාවන්ගෙන් මිදෙමු.
ü      වශී බන්ධන, ගුරුකම් අත් හරිමු.
ü      දේව වන්දනාවෙන් මිදෙමු.
ü      නිමිති, සාස්තර මඟ හරිමු.
ü      ජ්‍යෝතිශාස්ත්‍රය පසු පස නොයමු.

අපිම තනාගත් මිථ්‍යාවන්ගෙන් මිදෙමු.
ü      බුදු බණෙන් කරන ගුරුකම් අත හරිමු
ü      සීවලී පිංතූරය, සීවලී යන්ත්‍රය ඇත්නම් සෞභාග්‍යය උදාවන්නේය යන මුලාව අත හරිමු.
ü      ලෝකෙට පරකාසය පෙන්වන වෙසක් කූඩු, තොරණ ආදිය තුලින් බොහෝ කුසල් රැස් වේ යැයි යන මුලාවෙන් මිදෙමු.

වෙනත් අයගෙන් පුරුදු වූ දුෂ්චරිතයන්ගෙන් මිදෙමු.
ü      මත් පැන් පානයෙන් මිදෙමු.
ü      දුම්වැටි උවදුරෙන් මිදෙමු.
ü      මස් මාංශ අනුභවයෙන් මිදෙමු
ü      අසංවර ඇඳුම් ආයිත්තම් වලින් නොම සැරසෙමු.
ü      දෙමාපිය වැඩිහිටියන් හට අගෞරව නොකරමු.

අපට මේ ටික කරන්නට හැකි වුනොත් නූල් බෝලයෙන් වැඩි හරිය ලෙහා ගන්නට අපට හැකි වනු ඇත. එහෙම වුණොත් අපට ඇත්තේ පිරිසිදු බොදු දර්ශනයේ රැකිය යුතු පිළිවෙත් රකින්නට පමණි. එහෙම වුණොත් අඩු තරමේ අපට ගෞතම බුද්ධ රාජ්‍යය තුලම සසර දුකින් අත් මිදිය හැකිවනු ඇත. අප්‍රමාදීව කුසලෙහි යෙදී, අකුසලෙන් වැලකී, සිත් පහදවාගමු. ඔබ සැමට තෙරුවන් සරණයි!

මේ ලිපිත් කියවලා බලන්න


දුෂ්චරිත (දුසිරිත්)




ඔබේ අදහසත් ලියලම යන්න.....